ලිංගික දිවියට බාධා කරන " වැජිනිස්‌මස්‌ "

පළමු ලිංගික එක්‌වීම සම්බන්ධව අප සමාජයේ බොහෝ දෙනා තුළ ඇත්තේ අනියත බියකි. විශේෂයෙන්ම මෙය කාන්තාවන් තුළ ඉතා ප්‍රබලව පවතී. තමාගේ පිවිතුරු බව ඔප්පු කර පෙන්වීම, කන්‍යා පටලය බිඳීයැම ආදී කරුණු සම්බන්ධව පවතින මතවාද වලින් සිත පුරවාගෙන සිටින ඔවුන්ට පළමු ලිංගික එක්‌වීම යනු වධකාගාරයකට වැරැදිකරුවකු හා සමානය. මෙවැනි මානසික පීඩනයෙන් සිටින කාන්තාවට තම සහකරු සමග සාර්ථකව ලිංගිකව එක්‌වීමට නොහැකි වේ.

එසේම ලිංගික අතවරයකට ලක්‌වූ කාන්තාවන් ද නැවත ලිංගිකව එක්‌ වීමේදී දැඩි ලෙස බියට පත්විය හැකිය. එවිට ඔවුනටද නිසි ලෙස ලිංගිකව එක්‌වීමකට මුහුණ දිය නොහැකි විය හැකිය.


මෙවැනි අවස්‌ථාවකදී බොහෝ විට සිදුවන්නේ ලිංගිකව එක්‌විය නොහැකි ආකාරයෙන් යෝනි මාර්ගයේ ඇති වන තද බවයි. මෙය වැජිනිස්‌මස්‌ (Vajinismus) ලෙස හඳුන්වයි.

මෙම තත්ත්වය නිසා කාන්තාවකට ලිංගිකව එක්‌විය නොහැකි ආකාරයෙන් යෝනි මාර්ගය තදවීම නිසා ලිංගික සංසර්ගය වේදනාකාරී මෙන්ම අසාර්ථක විය හැකිය.

යෝනි මාර්ගයේ තදබව (Vajinismus)

යෝනි මාර්ගයේ තද බව එසේත් නැතිනම් වැජිනිස්‌මස්‌ (Vajinismus) තත්ත්වය විවිධ කායික හෝ මානසික හේතූන් නිසා ඇතිවිය හැකිය. ඉන් ප්‍රධාන වශයෙන් හේතුවන්නේ මානසික සාධකය.

වැජිනිස්‌මස්‌ තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ගේ සහකරුවන් අතුරින් බොහෝ දෙනා සිතා සිටින්නේ තම සහකාරිය ලිංගික සංසර්ගයට අකැමැති බවය. මෙය වැරැදි මතයකි. මෙම කාන්තාවන් අතරින් බොහෝ දෙනකුට ලිංගික ආශාව සාමාන්‍ය මට්‌ටමක පවතී. ඔවුන් ලිංගික සංසර්ගයේ යෙදීමට කැමැති වුවත් තම යෝනි මාර්ගයේ ක්‌ෂණිකව ඇතිවන තද බව නිසා එය අසාර්ථක වේ. මෙම තත්ත්වය නිසා ඔවුන් තුළ ඇති විශ්වාසය ගිලිහීයැම දුක හා ලැ-ජාවට පත්වීම ආදී විවිධාකාර මානසික ගැටලු ඇතිවේ. ඉන් එම කාන්තාවෝ විවිධාකාර මානසික ගැටලු වලින් පීඩා විඳිති.

මෙම තත්ත්වය බොහෝ විට ඇතිවන්නේ පළමුවර ලිංගිකව එක්‌ වීමකට උත්සාහ දැරීමේදීය. එම නිසාම ඔවුන්ට ලිංගික සංසර්ගයේ යෙදීමට හැකියාවක්‌ නැති විය හැකිය. මෙයට කලින් ලිංගිකව සක්‍රීයව සිටි කාන්තාවකට වුවද මෙම වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවිය හැකිය. එය කලාතුරකින් සිදුවිය හැකි තත්ත්වයකි. මෙය බොහෝ විට සංසර්ගය වේදනාකාරී වීම නිසා ඇතිවන තත්ත්aවයකි. එසේම මෙම තත්ත්වය ලිංගික සංසර්ගය පමණක්‌ නොව යෝනි මාර්ගය වෛද්‍යවරයකු විසින් පර්යේෂණයට භාජන කිරීම වැනි අවස්‌ථා වලදී පවා ඇති විය හැකිය. ඇතැම් කාන්තාවන්ට වැජිනිස්‌මස්‌ තත්ත්වය ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්‌ථා වෛද්‍ය පර්යේෂණ යන ඕනෑම අවස්‌ථාවකදී ඇති වේ. තවත් පිරිසකට මෙම තත්ත්වය ඇතැම් සහකරුවන් හා ඇතැම් අවස්‌ථාවලදී පමණක්‌ ඇති විය හැකිය.

වැජිනිස්‌මස්‌ තත්ත්වය යම් කාන්තාවකට මුල සිටම පවතින්නේ නම් එය බොහෝ විට සංසර්ගය වේදනාකාරී වේ යෑයි ඇති බිය හෝ සැකය වැනි මානසික හේතු නිසා ඇති විය හැකිය. ලිංගික හිංසනයට භාජන වී තිබීම නිසා හෝ ලිංගික සම්බන්ධතාවයේ ගැටලු නිසා ද කලාතුරකින් මෙම වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇති විය හැකිය. කලක්‌ ලිංගිකව සක්‍රීයව සිටි කාන්තාවකට මුත්‍රා හෝ යෝනි මාර්ගයේ ආසාදන, දරු ප්‍රසූතිය, ආර්තවහරණය, ඇතැම් පිළිකා, යෝනි මාර්ගය ආශ්‍රිත ශල්‍යකර්ම හෝ යෝනි මුඛය ආශ්‍රිත වේදනාකාරී තත්ත්ව නිසාද වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවිය හැකිය.

ප්‍රතිකාර -

වැජිනිස්‌මස්‌ තත්ත්වය සඳහා සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකිය. මෙහිදී සිදුකරන ප්‍රතිකාරය ඇයට වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවීමට හේතු කාරක වූ සාධකය මත තීරණය වේ. බහුලව භාවිත වන ක්‍රමවේදයක්‌ වන ක්‍රමාණුකූල අසංවේදකරණය යොදා ගෙන ප්‍රතිකාර කළ කාන්තාවන් 90% කට වැඩි පිරිසක්‌ එයින් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. කායික ප්‍රතිකාර ක්‍රමයක්‌ වන මෙහිදී ක්‍රමානුකූල අසංවේදන අභ්‍යාස මගින් එම කාන්තාවන්ට තම යෝනි මාර්ගයේ මාංශ පේෂී සංකෝචනය හා ඉහිල් කිරීමට හැකියාව ලබා දෙයි. මේ තත්ත්වය සඳහා ශල්‍යකර්මමය ප්‍රතිකාර නැත. වැජිනිස්‌මස්‌ තත්ත්වයට හේතුව කුමක්‌ වුවත් මෙය එම කාන්තාවන්ට මානසිකව බලපෑම් ඇතිකරයි. කායික තත්ත්වයක්‌ නිසා ඇති වුවත් බොහෝ විට මෙම කාන්තාවන් ආත්ම විශ්වාසය හීන වීම පුද්ගල සම්බන්ධතා වල ගැටලු, මානසික ආතතිය හා බිය වැනි තත්ත්ව වලින් පීඩා විඳිති. එම නිසා වැජිනිස්‌ටස්‌ තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් බොහෝ දෙනාට මනෝ උපදේශකනය උපකාරී වේ.

ලිංගික ගැටලු පිළිබද විශේෂඥ වෛද්‍ය
ලසන්ත මලවිගේ 

උපුටා ගැනීම  - දිවයින

Gossip Lanka Hot News Previous News Archive