දමිතා සේමිණී ගැටුම Damitha - Semini fight

" වෙබ් අඩවිවල දරුණු comments හරිම නින්දාසහගතයි "
 "වෙබ් අඩවිවල පළවෙන කුණු කතා මගේ දුවගේ අනාගතයට බලපානවා"සේමිණී
ඇත්තටම මොකක්ද දමිතයි - ඔබයි අතර ඇතිවුණු මේ ගැටුම?
මට නම් ඇයත් එක්ක කිසිම ගැටුමක් නෑ. අපි මේ ක්‍ෂේත්‍රය තුළ සහයෝගයෙන් එකට වැඩ කළා. එකට party වලදි හමුවුණා. මීට කලින් අපි අතර ගැටුමක් ඇතිවෙන්න තරම් විශේෂ හේතුවක් තිබුණෙ නෑ.

එහෙනම් මොකක්ද දමිතා ඔබට අපහාස වන විදියේ ප්‍රකාශයක් කළා කියන්නේ?
ඔව්. එක්තරා වෙබ් අඩවියක ගිය ලිපියක් ගැන FM නාළිකාවකින් ප්‍රශ්න කළ වෙලාවකදි දමිතා මා සම්බන්ධයෙන් ඉතා දරුණු ප්‍රකාශයක් කළා.

ඔබ දෙදෙනා අතර මීට කලින් ගැටුමක් නොතිබුණා නම් ඇයි දමිතා ඒ වගේ ප්‍රකාශයක් කරන්න පෙලැඹුණේ?
මටත් ඒක හිතා ගන්න අමාරුයි. කොහොම වුණත් කවුරු හරි ඇය නොමඟ යවා ඇති බව නම් හොඳටම පැහැදිලියි.

ඇය නොමඟ යැව්වේ කවුදැයි ඔබ දන්නවාද?
මම දන්නවා. නමුත් මේ අවස්ථාවේදී උසාවියේ නඩුවක් ගොනු කරල තියෙන නිසා ඒ ගැන කියන්න යන්නෙ නෑ.

දමිතා එවැනි ප්‍රකාශයක් කළ බවට ඔබට සාක්‍ෂි තිබෙනවද?
ඔව්. ඇය කළ ප්‍රකාශය මං පටිගත කරගෙන තිබෙනවා. ඒ ප්‍රකාශය අහපු කෙනෙක් හිතාවි මං ඒ ගැන උසාවි ගිහින් විතරක් නැවැතුණේ ඇයි කියලා. ඒක ඒ තරම්ම නින්දා සහගත ද්වේෂ සහගත ප්‍රකාශයක්.

ඔබට සිදුවුණාය කියන අපහාසයට මිලියන 500ක වන්දියක් ඉල්ලන්න තක්සේරු කළේ මොන පදනමකින්ද?
මං හොඳ පවුල් පසුබිමකින් පැවැත එන හොඳ අධ්‍යාපන පසුබිමක් සහිතව ක්‍ෂේත්‍රයට ආපු නිළියක්. රංගන ශිල්පිනියක් හැටියට මං ලැබූ ජයග්‍රහණ මගේ රසිකයන් දන්නවා. මෙවැනි අපහාස නිසා මට නැති වෙන්න දෙයක් තියෙනවා.

දමිතා කළැයි කියන ප්‍රකාශය නිසා මොන වගේ තත්ත්වයකටද ඔබ මුහුණ දුන්නේ?
මම හොඳ පවුල් ජීවිතයක් ගතකරන නිළියක්. ඉගෙන ගන්න දුවක් මට ඉන්නවා. ඇය අධ්‍යාපනය ලබන්නේ ජාත්‍යන්තර පාසලක. මේ ප්‍රශ්නය නිසා වෙබ් අඩවිවල පළවෙන කුණු කතා ඇයගේ අනාගතයට බලපානවා.

ඔබේ සැමියා මොන වගේ ආකල්පයක්ද මේ ප්‍රශ්නය ගැන දරන්නේ?
මගේ සැමියා තමයි මට තිබෙන ලොකුම ශක්තිය. ඔහු වැදගත් පොලිස් නිලධාරියෙක්. මේ ප්‍රශ්නයට මුහුණදෙන ආකාරය පිළිබඳ හොඳ වැටහීමක් ඉවසීමක් ඔහුට තිබෙනවා. ඔහු කාගෙවත් කතා නිසා සැලෙන පුද්ගලයෙක්වත්, මානසිකව වැටෙන පුද්ගලයෙක්වත් නෙවෙයි.

ඔබට සිදුවුණාය කියන අපහාසයට ඔබ රුපියල් මිලියන 500ක් ඉල්ලා සිටින විට දැන් දමිතාත් ඇයට අපහාසයක් වුණා කියලා ඔබෙන් රුපියල් මිලියන 1000ක් ඉල්ලා සිටිනවා?
ඕනෑ කෙනකුට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න අයිතිය තියෙනවා. නමුත් අපහාසය සිදුවුණේ කාටද කියල ගරු අධිකරණය තීන්දු කරාවි.

මේ නඩුව නිසා ඔබ දෙදෙනා පයගහල සිටින ක්‍ෂේත්‍රය තුළ අනවශ්‍ය කැලඹීමක් ඇතිවුණා කියල ඔබට හිතෙන්නෙ නැද්ද?
මං මේ නඩුව දැම්මේ මින් මතුවටවත් මෙවැනි අපහාසාත්මක සිදුවීම් නතර කරන්නයි. ඒක මං කරන සමාජ මෙහෙවරක් හැටියටයි මමත් මගේ හිතවත් ශිල්පීනුත් දකින්නේ.

නමුත් මේ නඩුව පැවැරීමේ පුවත පළවීමත් සමඟ වෙබ් අඩවිවල දරුණු comments පළවෙනවා?
ඒක නම් හරිම නින්දාසහගතයි. මාධ්‍ය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. කවුරු හරි එවන ඕනෑම කුණු කතාවක් පළ කරල කාලකණ්ණි සතුටක් පාඨකයාට ලබාදෙන එක නෙවෙයි මාධ්‍යයේ වගකීම.

ඔබේ චරිතය මේ තරම්ම ඝාතනය කරන්න හදන්නේ ඇයි?
වෙන මුකුත් නිසා නෙවෙයි. මං හොඳ සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන නිසා. මට ජීවිතේ කිසිම අඩුවක් නෑ. මට අවශ්‍ය හැම දෙයක්ම මේ ජීවිතේ ලැබී තිබෙනවා. ඉතින් ඒකට ඊර්ෂ්‍යා කරන පිරිසක් ඉන්නවා. ඒ අයට නැතිවෙන්න දෙයක් නෑ.

මේ ප්‍රශ්නය දුරදිග යනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් විස දාගන්න තිබුණා කියා ඔබට හිතෙන්නෙ නැද්ද?
එහෙම නම් දමිතා මා ළඟට බඩගාගෙන ඇවිත් සමාව ඉල්ලන්න ඕනෑ කියලයි මගේ හිතවතුන් කියන්නේ. මේක මං ගත්ත ඉතාම බුද්ධිමත්ම තීන්දුවක් කියලයි ඒ අය කියන්නේ. මොකද අපට නීතිය ඉදිරියේ තමයි සාධාරණයක් ඉටුවෙන්නේ.
 ---------------------------------------------------------------------------------------------



මොකක්ද දමිතා මේ වන්දි ඉල්ලන කතාවේ සුලමුල?
එක්තරා වෙබ් අඩවියක නිළියක් සම්බන්ධයෙන් පළ කළ පුවතක් තමයි මේ සිද්ධියට මුල. ඒ වෙබ් අඩවියට ඒ නිළිය ගැන තොරතුරු දුන්නේ මා බව ඇඟවෙන ප්‍රකාශයක් නැවතත් පළවී තිබුණා. එම ලිපිය ඇතුළේ මගේ ඡායාරූපයකුත් පළ කර තිබුණා.

එහි ඔබේ නම සඳහන් කරල තිබුණද?
නම සඳහන් කරල නොතිබුණත් මගේ ඡායාරූපයක් පළ කිරීමෙන් ඔවුන් ඒ තොරතුරු දෙන්නේ මා බව අඟවා තිබුණා.

FM නාළිකාවකට ඔබ මොනවද ඒ ගැන කිව්වේ?
ඒ වෙබ් අඩවියේ ප්‍රකාශය ගැන ඒ නාළිකාවෙන් මගෙන් අදහස් විමසූ වෙලාවේ මං දුන්න උත්තරයක් තමයි මේ වන්දි ඉල්ලන කතාවක් දක්වා දුර දිග ගියේ.

ඔබේ පිළිතුර තුළ සේමිණීට අපහාස වන අන්දමේ චෝදනාවක් ඇතුළත් වුණාද?
නෑ. කොහෙත්ම නෑ. මං කිව්වෙ කවුරුත් යන එන තැන් ගැන කියන්න මං දන්නෙත් නෑ. ඒවා ගැන හොයන්න මට වෙලාවකුත් නෑ කියලයි.

ඊට වඩා දෙයක් කිව්වෙ නැද්ද?
නැහැ. අපහාස වන විදියේ කිසිම දෙයක් කිව්වෙ නෑ.

එහෙනම් සේමිණී කියන්නේ ඔබ ඉතාමත් නින්දිත විදියට ඇයට අපහාස කළා කියලා?
මං ආයෙමත් කියනවා එහෙම අපහාසයක් කළේ නෑ කියලා.

සේමිණීගේ නීතිඥයන් ඔබ වෙත එවූ එන්තරවාසියට පිළිතුරු දෙන ගමන් ඔබ ඇයගෙන් මිලියන 1000ක් ඉල්ලා සිටියාද?
ඔව්. මොකද ඇගේ ක්‍රියාවෙන් මට ලොකු අපහාසයක්, අපකීර්තියක් වුණා. මේ නිසා මම බලවත් සිත්තැවුලකට, අපහසුතාවකට මුහුණ පෑවා. මගේ වටිනා කාලය, මුදල් වගේම මානසික තත්ත්වයට සිදුවූ හානිය විශාලයි.

මේ සිද්ධියට කලින් ඔබයි සේමිණියි අතර ප්‍රශ්න තිබුණද?
නෑ. එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. එයා මේ ක්‍ෂේත්‍රයේ තවත් එක සහෝදර ශිල්පිනියක් පමණයි.

මේ ප්‍රශ්නය දුර දිග යන්න කලින් සාකච්ඡා කරලා එකඟතාවකට එන්න බැරි වුණාද?
එහෙම එකඟතාවකට එන්න නම් සේමිණී මට කළ අපහාසයට ප්‍රසිද්ධියේම මගෙන් සමාව ගන්න ඕනෑ. ඇගේ චෝදනාවෙන් මා නිදහස් වන බව මට හොඳටම විශ්වාසයි.

ඒ වගේ දැඩි විශ්වාසයක් තියෙන්නේ ඔබ සේමිණීට අපහාසයක් වන කිසිවක් නොකී බව සහතික නිසාද?
ඔව්. හැම සාක්‍ෂියකටම වඩා වැදගත් වන්නේ හෘද සාක්‍ෂියයි. ඒ වගේම සත්‍යය කවදාහරි ජය ගන්නවා. ඒක මට හොඳටම විශ්වාසයි. ඒ විශ්වාසය මත මං දැඩි අධිෂ්ඨානයෙන් මේ නඩුවට මුහුණ දෙනවා.

මේ වෙලාවෙ ඔබගේ රසිකයන්ගෙන් මොනවගේ ප්‍රතිචාරද එන්නේ?
මේ අවස්ථාවේදී මගේ සහෝදර ශිල්පීන් වගේම රසිකයනුත් මාත් එක්ක ඉන්නවා. විදේශ රටවල ඉන්න මගේ රසිකයන් පවා මට දුරකතනයෙන් කතා කරලා මාව දිරිමත් කරනවා. එක රසිකාවියක් මට දුරකතනයෙන් කතා කරලා කිව්වා මා වෙනුවෙන් ජය ශ්‍රී මහා බෝධියට බෝධි පූජාවක් කරනවා කියලා. ඔවුන්ගේ ආශීර්වාදය මට ලොකු ශක්තියක්.

ගුණසිරි සිල්වා
-සබැදි පුවත්-
1.සේමිණීට දමිතාගෙන් පිළිතුරු - Damitha Abeyratne reply to Semini Iddamalgoda
2. මම නිර්දෝෂීයි - Damitha Abeyratne
3.සේමිණිගෙන් දමිතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග- Semini Iddamalgoda

Gossip Lanka Hot News Previous News Archive