ගොඩක් අය මාව ඇසුරු කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න - උපේක්ෂා

සිහින වි‍ලේ සිහින සොයන රුවත්තියන් දෙදෙනෙක් මේ දවස්වල නිතරම අපිට මුණ ගැහෙනවා. ඒ තමයි නිම්මි සහ සඳුපමා. නිම්මිත් සඳුපමාත් අපි දකින්නේ උපේක්ෂාගෙන් සහ හිමාලිගෙන්, අපි සිහින විලට ගියේ උපේක්ෂාගෙ අලුත් තොරතුරු දැනගන්න.

සංගීත ටීචර්ට ලැබෙන ප්‍රතිචාර හොඳයිද ?
මුල් කා‍ලේ නම් හිතපු තරම් ප්‍රතිචාර හම්බවුණේ නැහැ. මොකද ඒක ටිකක් සැර චරිතයක්නේ. ගොඩක් අය මාව දකින්න කැමැති අහිංසක චරිතවලින් දැන් කතාව ටිකක් ගිහින්නේ තියෙන්නේ. ඒ නිසා දැන් නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නැටුම් ටීචර් ගැන මොකද හිතෙන්නේ?
සංගීත ටීචර්ට නැටුම් ටීචර් හොඳ යාළුවෙක්. ඒ වගේම හිමාලිත් මට හොඳ යාළුවෙක්. මම හිමාලිත් එක්ක රඟපාන පළවෙනි වතාව මේක වුණත් අපේ හැඳුනුම්කම ටිකක් පරණයි. අපි දෙන්නම නැටුම් තරගයක විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා.


නිළියක් විදිහට හිමාලි කොහොම කෙනෙක්ද ?
ඇත්තටම හිමාලි අති දක්ෂ නිළියක්. මම හිමාලිට, හිමාලිගේ රංගනයට කැමැති වුණේ සඳගලතැන්නෙ හිමාලිගේ රංගනය නිසා. හිමාලි කියන්නේ ඕනෑම චරිතයක් හොඳට කරන්න පුළුවන් රංගන ශිල්පිනියක්. ඒ වගේ දක්ෂ කෙනෙක් එක්ක වැඩ කරන්නත් හරි ‍ලේසියි. අනිත් එක හිමාලි වගේ දක්ෂ කෙනකුගේ දක්ෂතාවයෙන් වැඩ ගන්න හැමෝටම බැහැ. ඒත් මේ කතාවේදී හිමාලිගේ දක්ෂකම් පේනවා.

උපේක්ෂයි හිමාලියි අතර තරගයක් තියෙනවාද?
එකම පරම්පරාවේ නිළියන් දෙන්නෙක් අතර තරගයක් තියෙන්න පුළුවන්. ඒත් අපි අතර එහෙම තරගයක් නැහැ. අපි දෙන්නගේ රඟපෑම් වෙනස්. හිමාලිත් මමත් හොඳ විනයක් ඇතුව රඟපෑම් කරන්නේ. හිතුනාම විහිලුවක්් කරලා සැහැල්ලුවෙන් ඉන්නවා.

අකලංකයි උපේක්ෂයි දැන් එකට රඟපානවා වැඩියි කිව්වොත්?
සිහින විලක් කතාව මම අකලංකත් එක්ක රඟපාන තුන්වැනි වතාව, හැබැයි හැමෝම මුලින්ම දැක්කේ මේ කතාව. මට ආරාධනා ලැබෙන විදියටයි මම නිර්මාණ භාර ගන්නේ අකලංක එක්ක රඟපානවා කියලා විශේෂත්වයක් නැහැ.

එතකොට අකලංක ගැන උපේක්ෂාට හැදුණු කටකතාව ?
කටකතා කියන ඒවා ජනප්‍රිය අයට අලුත් දේවල් නමෛයි. මාව නළුවකුට ජෝඩු කරපු පළවැනි වතාව ඕක නමෛයි. ඕවා ගණන් ගන්න තරම් දේවලුත් නමෛයි. අකලංක මගේ හොඳ යාළුවෙක්. ඒ වගේම අකලංක ඉක්මනටම විවාහ වෙනවා.

උපේක්ෂා විවාහ වෙන්නේ නැද්ද?
තාම නම් මම විවාහයක් ගැන බලා‍පොරොත්තුවක් නැහැ. අනික මගේ දික්කසාදය ගැන නීතිමය ලියවිලි සම්පූර්ණ වෙලා මට ලැබුණෙත් මෑතකදී. මම දන්නේ නැහැ මම විවාහ වේවිද කියලා. සමහර විට මම හැමදාම තනියම ඉඳීවි.

ඒ අතීතය ගැන පසුතැවෙනවාද ?
වෙච්ච කිසිම දෙයක් ගැන පසුතැවීමක් නැහැ. ඒත් මට ලොකු අධිෂ්ඨානයක් තිබුණා රංගන ශිල්පිනියක් වුණත්, මොන ක්‍ෂේත්‍රයේ හිටියත් මම දික්කසාද වෙන්නේ නම් නැහැ කියලා. ඒත් මගේ හිතේ තිබුණු අධිෂ්ඨානය මට නැති වුණා. ඒ ගැන දුකයි. ඒ හැරුණාම මට දැනෙනවා මම දික්කසාදය ගැන ගත්තු තීරණේ හොඳ තීරණයක් කියලා. පාළුවක් දැනෙන වෙලාවට දුකයි තමයි. ඒත් මම ආයෙ ආයෙ ඒ ගැන හිතලා දුක් වෙන්නේ නැහැ.

මේ සිදුවීම් නිසා උපේක්ෂා අපහසුතාවට පත්වෙලා තියෙනවා?
මට දැනෙන විදියට මාව ගොඩාක් ළඟින් ආශ්‍රය කරන්න උත්සාහ කරන ගොඩාක් අය මාව ඇසුරු කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ ගැන හරි කනගාටුයි. මම ඇසුරු කරන්නේ මගේ වැඩවලට අත්‍යවශ්‍ය පිරිසක් විතරයි. ඒ අය අවස්ථාවාදීන් වෙද්දි මට ගොඩක් සූක්ෂ්මව කෙළින් ඉන්න වෙනවා. මම නපුරු වෙන්න කැමැති නැහැ.

ඒ වගේ සිදුවීම් ගැටුම් ඇති කරගන්න තරමටත් දුර ගියාද ?
මම බොහොම තදින් කතා කරපු වෙලාවල් තියෙනවා. ඒ මම කියපු දේවල් තේරුම් අරගෙන සුහද වුණු අය ඉන්නවා. එහෙම නොවුණු අයත් ඉන්නවා.

උපේක්ෂාගේ ජීවිතයට බලපෑම් කරපු අය රංගන ක්‍ෂේත්‍රයෙත් ඉන්නවා?
මගේ විවාහයේ ගැටලු ඇති වෙන්නත් කලින් මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරපු තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒ අයට මම බොහොම සැරපරුෂ වුණා. මොකද මම ඒ බලපෑම් නිසා අපහසුතාවට පත්වුණා. මම අදටත් ඒ අය එක්ක නිර්මාණවලට දායක වෙන්නේ නැහැ කියන මතයේ ඉන්නේ.

මේ හැමදේම ජනප්‍රියත්වය නිසා වෙන දේවල්ද ?
අද ජනප්‍රිය වෙලා ඉන්න හැම කෙනාම ජනප්‍රිය වෙන්න සුදුසු අයද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා සමහර අයට ජනප්‍රියත්වය නිසා මෙහෙම දේවල් වෙනවා ඇති. ඒත් මම හිතන්නේ මම මුහුණ දීපු දේවල්වලට හේතුව ඒ බලපෑම් කරපු අයගේ විනයක් නැතිකම.

එකම විදියෙ චරිත නිසා ජනප්‍රියත්වය නැති වෙනවාද ?
අද ප්‍රවීණ අය අලුත් අයට කරන ලොකු චෝදනාවක් තමයි චරිතාංග රංගන ශිල්පීන් වෙන්න උත්සාහ කරන්නේ නැහැ කියන එක. ඒත් ඒක රංගන ශිල්පීන්ගේ වරදට වඩා නිර්මාණවල වරද ඒත් හොඳට හිතලා ලැබෙන එකම විදිය චරිත වුණත් වෙනස් විදියට කළොත් ජනප්‍රියත්වයට ගැටලුවක් වෙන්නේ නැහැ.

උපේක්ෂා රඟපාන්නේ තෝරා ගෙනද?
මට තියෙන අනෙක් වැඩ කටයුතු එක්ක මම චරිත තෝරා ගන්නවා. අනික දායක වෙලා ඉන්න අනික් අය ගැනත් මම බලනවා. දැන් වුණත් මාව එක නාට්‍යක විතරක් පේන්නේ ඒ නිසා.

උපේක්ෂා සිංදු කියනවා කියලත් ආරංචියි?
සිංදු කිහිපයක් කරලා තියෙනවා. සමහර සිංදු කළේ මුදලට නමෛයි මට පුළුවන් දේ මම කරනවා.

අනාගතය කොහොම වේවිද?
මම දැන් මුල් තැන දෙන්නේ දේශපාලන වැඩවලට. අනාගතේ කොහොම වේවිද කියලා හරියටම කියන්න මම දන්නේ නැහැ. කොහොම වුණත් හොඳ මනුස්සයෙක් විදියට ජීවත් වෙන්නයි බලා‍පොරොත්තුව.
නෙලූෂා සිල්වා

Gossip Lanka Hot News Previous News Archive