2018 ඔබට කොහොමද?

ලෝක සම්මත ප්‍රධානම ව්‍යවහාරික වර්ෂ ක්‍රමය වන ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුව 2017 දෙසැම්බර් මස 31 දා රාත්‍රී 12.00ට හෙවත් 2018 ජනවාරි මස 01 දින පැය 00.00ට නව වර්ෂය ආරම්භ වේ. මෙරටට සාපේක්ෂව සලකන කල නැගෙනහිර ක්ෂිතිජයෙන් කන්‍යා ලග්නය මේ අවස්ථාවෙහි උදාව ඇත.
මෙදින දුරුතු මස පුර තුදුස්වක තිථීය පවතී. නැකත මුවසිරස වේ. කන්‍යා ලග්නය වී ලග්නාධිපති බුධට විරුද්ධකම් දක්වන අට වැන්නාධිපති හා අටෙන් අට අධිපති කුජ හිමි රතු ග්‍රහයාට හිමි නක්ෂත්‍රයකින් වර්ෂය උදා වේ.
රක්ත, ලෝහිත, අංගාරක, සෞම, මංගල ආදී නම්වලින් හඳුන්වන අඟහරුට අයිති නැකතක් උදාවෙමින් තිබිය දී තත්කාලයෙහි ග්‍රහයන් සිටිනුයේ ශුභා’ශුභ මිශ්‍ර තත්ත්වයෙනි. රවි 4 ද කුජ දෙවැන්නේ ද සෙනසුරු සමග සංයෝග වූ රවි පාතාල භවනය වන 4 වැන්නෙහි ලැගුම් ගෙන සිටින අවස්ථාවක බ්‍රහස්පති යහපත්ව සිටින බව කිව යුතුය. යුරේනස් අටේ ද, කුජ දෙවැන්නේ සිටීම අහිතකරයි.


චන්ද්‍රයා 6 වැන්නේ සිටීම මධ්‍යස්ථ පලදායකය. මෙවැනි වාතාවරණයක් යටතේ 2018 නව වසර හැල හැප්පිලි, ගැටුම්, ප්‍රශ්න, තර්ජන, ගර්ජන අති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වන සාමය සන්සුන් බව බොහෝ දුරට අසම්පූර්ණ වූ වසරක් යැයි කිව හැක. අනේ‍යා්න්‍ය විරුද්ධකරුවන් වන ශනි, රවි එකට එක්වී 4 වැන්නේ සිටී. එය මහජනතාව නියෝජනය කරන භාවය වීම නිසා යම් යම් සමාජමය විපර්යාසයන් ද පාලක පාලිත දෙපක්ෂයෙහි අර්බුදකාරී තත්ත්වයන් ද මතුවීමට හේතුවක් වේ.

අඳුරු ග්‍රහයා වන සෙනසුරු ආලෝකය නියෝජනය කරන රවි සමග එක්වී අඳුර නියෝජනය කරන හතරවැන්නේ සිටීම නිසා මෙරට විදුලිය සම්බන්ධ කටයුතු කෙරේ කිසියම් අහිතකර බලපෑමක් ඇති කරන්නේය. යුරේනස් තරුණ පෙළ නියෝජනය කරන රාශිය වෙමින් අටවැන්නේ වීම හා රවි ශනිට පස්වැන්නේ වීම මත යෞවන පක්ෂය වැඩි කලබලකාරී තත්ත්වයකින් ක්‍රියා කරනවා විය හැක.

බ්‍රහස්පති ධනස්ථානගතව සිටීම මෙරටෙහි ආර්ථිකමය ප්‍රබෝධයට යම් යම් යහපත් අවකාශයන් ඇති කරන්නකි. දේශපාලනමය අර්බුදයන් ගහන මෙම වසර විවිධ පක්ෂවල දෙදරීම් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනු ඇත. සාමාන්‍යයෙන් විප්ලවකාරී ග්‍රහයකු වන කුජගේ රාශිය වෙමින් යුරේනස් අශුභම භාවය වූ අටේ සිටින නිසා වැඩවර්ජන, කලකෝලාහල, පෙළපාළි ආදියෙන් හිස් වසරක් නොවේ.

ඒ ඒ ලග්නවලට ඉදිරි 2018 වර්ෂය බලපාන ආකාරය පහත දැක්වේ.

මේෂ – පැතුම් ඉටුවන වසරක් 
ලග්නාධිපති වූ කුජ භාග්‍ය ස්ථානාධිපති ගුරු සමග එකට එක්වී හත්වැන්නේ ගමන් කරමින් සිටියදී වසර ඇරඹේ. බ්‍රහස්පතිගේ ගමන ඔක්තෝබර් 11 දක්වා යහපති. තමාගේ අභිමතයෙන් බොහෝ සෙයින් සපුරාලන වසරක් විය හැක. ආර්ථිකය- අය භාවාධිපති ශනි කර්මස්ථානාධිපති ද වෙමින් පුණ්‍යස්ථානයේ ගමන් කිරීම නිසා ආදායම් මාර්ග යහපත් විය හැක. ධන කාරක ගුරු ද ඊට උදව් කරයි. දහය අධිපති වශයෙන් කර්මස්ථානාධිපති නවවැන්නේ ගමන් කිරීම ක්‍ෂේත්‍ර සිංහාසන යෝගයයි. මේ නිසා තම වෘත්තීය කටයුතුවල ප්‍රගතියක්, ඉහළ යාමක් ඇති වේ. ආගම ධර්මය කෙරේ භක්තියෙන් යුක්ත වේ. උසස් දෑ සඳහා යොමු වනු ඇත.

යුග දිවිය- අහිතකර බවක් කිව නොහැක. භාග්‍යස්ථානාධිපති ගුරු හත්වැන්නේ ගමන් කිරීම නිසාය. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝජනා ඉදිරිපත් වේ. පුත්‍ර කාරක බ්‍රහස්පති යහපත් නිසා තම දූ දරුවන්ට හිතකර ප්‍රතිඵල ගෙන දෙන්නේය. අධ්‍යාපනය- අධ්‍යාපනයේ යෙදෙන අයට මෙම වසර ශුභදායකයි. විභාගාදියෙන් උසස් ලෙස සමත් වේ. විදෙස් ශිෂ්‍යත්ව ලැබිය හැක.

සෞඛ්‍යය- රාහු කේතු 4, 10 ස්ථානවල ගමන් කිරීම යුරේනස් ලග්නයෙහිම වීම නිසා වැටීම්, තැළීම් වැනි පීඩා, හෘදයට සම්බන්ධ ආබාධකාරී ගති, දණහිස් ආබාධවලින් ප්‍රවේශම් වන්න. කොලෙස්ටේ‍රා්ල් වැනි ආබාධ ඉස්මතු විය හැක. ශුභ දිනය- බ්‍රහස්පතින්දා, වර්ණය- රතු, අංකය- 09

වෘෂභ – සිත් තැවුල් ඇති කරයි 
 ලග්නාධිපති සිකුරු වක්‍රව අටවැන්නේ ගමන් කරමින් සිටිය දී වසර ඇරඹේ. මේ අතර සෙනසුරු අටවැන්නේ ගමන් කිරීම ඒරාෂ්ටක දෝෂයක් යැයි කිව යුතුව ඇත. ගැටලු, බාධා, ප්‍රශ්න සහිතව කටයුතු සිදුවනු ඇත. විශේෂයෙන්ම ගුරු, කුජ හයවැන්නේ ගමන් කිරීම ආදී කරුණු මත ද සලකන කල සිත් තැවුල්වලට භාජනය වන අවස්ථා උද්ගත කරයි. දොළහ අධිපති කුජ හා අට අධිපති ගුරු 6 වැන්නේ ගමන් කිරීම එක් අතකින් විමල හා සරල යෝගයයි. මේ නිසා ප්‍රශ්න මධ්‍යයේ නමුදු හිටි හැටියේ වරප්‍රසාද ද ලැබිය හැක.

ආර්ථිකය- අයස්ථානාධිපති ගුරු හයවැන්නේ ගමන් කිරීමත්, 10 අධිපති ශනි අටේ ගමන් කිරීමත් නිසා ආර්ථික සහ වෘත්තීය අංශයෙන් සුවිශේෂම ප්‍රතිඵල ලැබිම අසීරු විය හැක. ගැටලු, බාධා මධ්‍යයේ වෘත්තීය කටයුතු කරන්නට සිදු වේ. ධනය ද එසේය.

යුග දිවිය- ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් සලකන කල මධ්‍යස්ථ පලදායක බවක් ඇති කරයි. රාහු, කේතු කිසියම් ප්‍රමාණයක් ශුභදායක ලෙස ගමන් කිරීම නිසා යුග දිවියෙහි ප්‍රමාණවත් බවක් ඇති කරයි. දූ දරුවන්ට සම්බන්ධයෙන් අයහපත් බවක් කිව නොහැක. මංගල යෝග පවතී.

අධ්‍යාපනය- අධ්‍යාපනයේ යෙදෙන අයට මෙම වර්ෂය මධ්‍යස්ථ පලදායකයි. සෞඛ්‍යය- ලෙඩ රෝග සම්බන්ධයෙන් සැලකීමේ දී වාතාබාධ, නහරගත පීඩා මෙන්ම මූත්‍රා සම්බන්ධ පීඩාකාරී ගතිවලට ඉඩකඩ පවතින බව කිව යුතුයි.

ශුභ දිනය- අඟහරුවාදා, වර්ණය- නිල්, අංකය- 06

කටක – ව්‍යාපාරවලින් ලාභ 
ලග්නාධිපති බුධ හය වැන්නේ ගමන් කරමින් සිටිය දී වසර ආරම්භ වන අතර බ්‍රහස්පති 5 වැන්නෙහි ත්‍රිකෝණගතව සිටීමත් යෝග කාරක සිකුරු යහපත් ගමනක යෙදීමත් මත ශුභදායක ප්‍රතිඵල ලබා ගැනීමේ අවකාශයක් පවතී. කේන්ද්‍රස්ථාන දෙකක් අධිපති ගුරු ත්‍රිකෝණගත වීම යහපත් කරුණක් ලෙස පිළිගැනේ. මෙය තමාගේ අරමුණු අපේක්ෂා ඉෂ්ට සිද්ධ කරන, ජීවිතයේ පරමාර්ථයන් මල්පල ගන්වන කාලයකි.

ආර්ථිකය- කර්මස්ථානාධිපති ගුරු ධනකාරක ද වෙමින් පස්වැන්නේ සිට ලග්නයට දෘෂ්ටි හෙළීම යම් යම් ආකාරයෙන් ආර්ථිකමය ප්‍රවර්ධනයක් ඇති කිරීමටත් වෘත්තීය කටයුතුවල පවතින දක්ෂතාව නිසා තමාගේ රැකියා කටයුතුවල ප්‍රගතියක් ඇතිවීමටත් හේතු වේ. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ලාභ ප්‍රයෝජන වැඩිවීමටත් ඉන් ලැබෙන ආදායම සාර්ථක වීමටත් මෙය හේතුවක් වේ.

යුග දිවිය- සෙනසුරු හත්වැන්නේ ගමන් කළත් එය අශුභ යැයි ප්‍රකාශ කළ නොහැක. ලග්නාධිපතිගේ මිත්‍රයකු වන සෙනසුරු නවය අධිපති වශයෙන් දිග්බලව හත්වැන්නේ ගමන් කිරීමෙන් යහපතක් සැලසෙනු ඇත. යම් යම් අඩුපාඩු හා ගැටලු ඇතත් ඒවාට මුහුණ දෙමින් අඹුදරු ජීවිතය සුරක්ෂිත කර ගැනීමේ බලයක් මේ නිසා ඇති කරයි.

අධ්‍යාපනය- ගුරු 5 වැන්නේ ගමන් කිරීමෙන් කටයුතුවල සාර්ථකත්වයට මග පාදන්නක් වන අතර විභාගාදියෙන් ඉහළ මට්ටමේ සාමාර්ථයක් ලැබිමට හේතු වේ.

සෞඛ්‍යය- සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකීමේ දී එතරම්ම ඉහළ මට්ටමේ යහපත් බවක් කිව නොහැක. රාහු කේතු දෙදෙනා දෙක, අට ආදී ස්ථානවල ගමන් කිරීම තුළ ‍ලේ දූෂ්‍යාබාධ, ශරීරයට වෛරස් ඇතුළුවීම, රුධිර සංසරණයෙහි පීඩා ගෙනදීමට හේතුවක් වේ.

ශුභ දිනය- බදාදා, වර්ණය- කොළ, අංකය- 05

මිථුන – ආයෝජනයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල 
කටක ලග්නය වෙමින් භාග්‍යස්ථානාධිපති බ්‍රහස්පති 4 වැන්නේ ගමන් කිරීමත්, සෙනසුරු උපචය ස්ථානයක් වෙමින් හයවැන්නේ ගමන් කිරීමත් ශුභදායක කාරණයක් වේ. ලග්නාධිපතිගේ මිත්‍රයා හා භාග්‍යස්ථානාධිපති වෙමින් බ්‍රහස්පති සුඛස්ථානය හෙවත් 4 වැන්නේ ගමන් කිරීම නිසා තම අරමුණු අපේක්ෂා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉෂ්ට සිද්ධ වනු ඇත. මේ අතර 8 අධිපිත ශනි උපචය භාවගතව සරල නමැති විපරීත යෝගය ද උදා කිරීම නිසා අනපේක්ෂිත ආකාරයේ ලාභ ප්‍රයෝජන, හදිසි වාසනා ආදියට ද අවකාශ යෙදෙනු ඇත. සතුරු මර්දනය හා කැපවී ක්‍රියා කරන කටයුතුවලින් ප්‍රතිඵල උරුම කරයි.

ආර්ථිකය- ධනකාරක බ්‍රහස්පති කේන්ද්‍රගතවීම කර්මස්ථානාධිපතියා වන කුජ වර්ෂය ආරම්භයේදීම ධර්මකර්මාධිපති යෝග බලයෙන් යුක්ත වීම නිසා ආර්ථික හා වෘත්තීය කටයුතුවල සාර්ථකත්වයට ඉඩකඩ සැලසේ. ආයෝජනයන්ගෙන් වැඩි ලාභ ප්‍රයෝජනයක් උරුම කරනු ඇත. වෘත්තීය ක්‍ෂේත්‍රයෙහි උසස්වීම් හා රැකියා කටයුතුවල ප්‍රගතියට මෙය බලපායි.

යුග දිවිය- රාහු සහ කේතු 7 වැන්නේ ගමන් කිරීම මෙන්ම ග්‍රහ ගමනෙහි පවතින යම් යම් බලපෑම් මත යුග සැපත සම්බන්ධයෙන් එතරම් හිතකර බවක් කිව නොහැක. විවාහ ස්ථානය පීඩාකාරී නිසා සිත් තැවුල් මෙන්ම යුග සැපතෙහි බැඳීම තුනී කරයි. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝජනා ස්ථිර කර ගැනීමේ අවකාශය තරමක් අඩුවේ.

අධ්‍යාපනය- ආයාසයෙන් සහ උත්සාහයෙන් ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාවක් තිබේ. කෙසේ නමුත් රාහු ලග්නයේම හෙවත් හිස මත ගමන් කිරීමේ අඩුපාඩුව නිසා අධ්‍යාපනයට බාධාකාරී බලපෑම් තිබිය හැක. උනන්දුවෙන් ප්‍රතිඵල ලැබිය හැක.

සෞඛ්‍යය- වැටීම්, තැළීම්, අනතුරු පීඩා ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම පෙණහලු ආශ්‍රිත පීඩා, බඩවැල්වල රෝග, උදරාශ්‍රිත පීඩා ඇති කළ හැක.

ශුභ දිනය- බ්‍රහස්පතින්දා, වර්ණය- ක්‍රීම්, අංකය- 02

සිංහ – මනස නොසන්සුන් 
සිංහ ලග්නය වෙමින් ලග්නාධිපති රවි පස්වැන්නේ ගමන් කරමින් සිටිය දී වසර ආරම්භ වන අතර සෙනසුරු පස්වැන්නේම ගමන් කිරීමත් රාහු 12 හා ගුරු 3 වැන්නේ ගමන් කිරීම මත යම් යම් ආකාරයේ ජීවිතයෙහි සැලසුම් සහගත බව නිසි අරමුණක් මත ක්‍රියා කිරීමේ හැකියාව බාධාකාරී තත්ත්වයට පත් කරනු ඇත. නිරන්තරයෙන්ම සිතෙහි පවතින කිසියම් පීඩනකාරී ගතියක් හා අනපේක්ෂිත බවක් තිබිය හැක. බ්‍රහස්පති තුන්වැන්නේ ගමන් කිරීම නිසා උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබාගැනීමේ ඉඩකඩ අවම කරයි.

ආර්ථිකය- වෘත්තීයමය කටයුතුවල දී ඇපකැප වී ක්‍රියා කිරීමේ අවකාශය අඩුබව පෙනේ. මේ නිසා රැකීරක්ෂා කටයුතුවල දී සුවිශේෂතම සාර්ථකත්වයක් පැවසීම අසීරුය. දැඩි උනන්දුවෙන් සහ උත්සාහයෙන් ක්‍රියා කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට උනන්දු විය යුතුයි.

යුග දිවිය- යුග දිවිය තුළ මධ්‍යස්ථ පලදායක බවක් පවතී. 7 වැන්න බොහෝ සෙයින් පීඩාකාරී තත්ත්වයෙන් තොරයි. එනිසා යුග සැපතෙහි ප්‍රමාණවත් යහපතක් කිව හැක. විවාහ මංගල යෝජනා සම්බන්ධයෙන් අපේක්ෂා සහගතව සිටින්නන්ට ඒ සම්බන්ධ බලා‍පොරොත්තු ආයාසයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඉඩකඩ යෙදේ. දූ දරුවන් සම්බන්ධයෙන් වඩත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

අධ්‍යාපනය- සෙනසුරු විද්‍යාස්ථානයක් වශයෙන් සලකන 5 වැන්නේ ගමන් කිරීම නිසා අධ්‍යාපන කටයුතු සඳහා වැඩි කැපවීමක් හා උනන්දුවක් දැක්විය යුතු බව කිව යුතුයි. එසේ කටයුතු කිරීමෙන් ආයාසයෙන් යහපත් ප්‍රතිඵල උරුම කර ගැනීමේ අවකාශය පවතී.

සෞඛ්‍යය- ග්‍රහ ගමනෙහි යම් යම් අඩුපාඩුකම් හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමින් නොපවතී. උදරගත පීඩා, ආහාර දිරවීමේ අක්‍රමිකතා, ගැස්ට්‍රයිටිස් වැනි පීඩා සඳහා ඉඩකඩ පවතිනු ඇත.

ශුභ දිනය- බ්‍රහස්පතින්දා, වර්ණය- රෝස, අංකය- 01

කන්‍යා – ජීවිතය සුබ මගට හැරෙන වසරක් 
ලග්නාධිපති වන බුද කේන්ද්‍රයෙහි තුන්වැන්නේ ගමන් කරන අතර බ්‍රහස්පති දෙවැන්නේ ගමන් කිරීම වඩාත් යහපත් කරුණකි. බ්‍රහස්පති දෙවැන්නේ ගමන් කිරීම ඉතාමත් සුවිශේෂ කාරණයක් වශයෙන් පිළිගනී. ජීවිතයෙහි අරමුණු අපේක්ෂා ඉෂ්ට සිද්ධවීම හා යහපතට මාර්ග පෑදෙන වසරක් වේ. සෙනසුරු හතරේ ගමන් කිරීම ශනි කන්ඨක දෝෂය ලෙස හැඳින්වේ. මේ නිසා සිතෙහි ලබන සතුට සන්තෝෂය සහ තෘප්තියේ ප්‍රමාණය අඩුවිය හැක.

ආර්ථිකය- ධනස්ථානගතව බ්‍රහස්පති ගමන් කරමින් කර්මස්ථානය ද දකින නිසා ආර්ථික හා වෘත්තීය කටයුතුවල කිසියම් ප්‍රගතියක් ලැබිය හැක. තමාගේ රැකීරක්ෂා තනතුරු සහ ආර්ථිකයෙහි යම්කිසි සාර්ථකත්වයක් ලබයි.

දේශපාලනයෙහි නියුක්ත වන කන්‍යා ලග්න හිමියෝ වෙනදාට වඩා ප්‍රගතියක් ලබයි. රාහු අයස්ථානගතව සිටීම අනපේක්ෂිත ධන ලාභ ඇති කරන කාලයකි. හදිසි වාසනා, ලොතරැයි දිනුම් ආදියට ද අවකාශය ඇත.

යුග දිවිය- ගෙදරදොර ජීවිතයෙහි යම් යම් ප්‍රශ්නයන් සහිතව නමුදු යුග සැපතෙහි සාර්ථකත්වය උරුම වේ. දූ දරුවන් සම්බන්ධයෙන් යහත් වාතාවරණයක් ඇති කරයි. විවාහ අපේක්ෂක තරුණ තරුණියන්ට මංගල යෝජනා ඉදිරිපත් වී ඒවා ඉෂ්ට සිද්ධ වීමේ යහපත් වාතාවරණයක් ඇති වේ. සමස්තයක් වශයෙන් විවාහයේ ශුභසාධන අංශයට යහපත් ඉඩක් පවතී.

අධ්‍යාපනය- ඉගෙනීමේ කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් ලැබිය හැක. විභාග සාමාර්ථාදිය සම්බන්ධයෙන් හිතකර වාතාවරණයක් පෙන්වයි. වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ භාවය දෙවැන්නයි. බ්‍රහස්පති දෙවැන්නේ ගමන් කරමින් දහය දැකීම නිසා යම් යම් වෘත්තීය පාඨමාලාවන්ට සම්බන්ධ අධ්‍යාපනයෙන් ඉහළම ප්‍රතිඵල ලබයි.

සෞඛ්‍යය- බොහෝ සෙයින් හිතකර සෞඛ්‍ය තත්ත්වයක් නව වසර තුළ පවතී. තදබල රෝග පීඩාවන්ට පත් නොවේ. කෙසේ නමුත් උදරගත පීඩා මෙන්ම පපුව, පෙණහැල්ල ආශ්‍රිත වාතාබාධ මුල් වූ පීඩා ගෙනදීමට අවස්ථාවක් ඇත. ශුභ දිනය- බදාදා, වර්ණය- නිල්, අංකය- 05

තුලා – කායික-මානසික ගැටලු 
ලග්නාධිපති සිකුරු තුන්වැන්නේ යෝග කාරක ශනි සමගම ගමන් කරමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ. බ්‍රහස්පති ලග්නයේම ගමන් කරයි. සෙනසුරුගේ ගමන යහපත් නමුදු බ්‍රහස්පති ලග්නයේ ගමන් කිරීම අහිතකරයි. සතුරු රාශිගතව හය අධිපති ද වශයෙන් ගුරු ලග්නයේ ගමන් කිරීම නිරන්තරයෙන් සැකය, ස්ථාවරත්වය අඩුබව, මානසික වශයෙන් පවතින සහනශීලී බව දුර්වල වීම යන අවිනිශ්චිත වාතාවරණයක් පවතී. එහෙත් සෙනසුරු යෝගකාරකයා වී වික්‍රමස්ථානගතවීම නිසාත් තුන්වැන්න සෙනසුරුට යහපත් නිසාත් ගැටලු, ප්‍රශ්න, අසහන මධ්‍යයේ නමුදු තම අරමුණු ඉෂ්ට සිද්ධ වේ. ඒ සෙනසුරුගේ යහපත් බලය නිසාය. ‍පොදුවේ ශුභා’ශුභ මිශ්‍ර බවක් ඇත.

ආර්ථිකය- බොහෝ සෙයින් තම පරිශ්‍රමය හා කැපවීම මත වෘත්තීය හා ආර්ථිකමය අභිලාෂයන් ආයාසයෙන් ඉෂ්ට කරගත හැක. ලෙහෙසියෙන් පහසුවෙන් ප්‍රතිඵල නොලැබි තදබල ප්‍රශ්න මධ්‍යයේ මෙම සාර්ථක ප්‍රතිඵල ලබයි.

යුග දිවිය- මධ්‍යස්ථ පලදායක තත්ත්වයක් පවතී. දූ දරුවන් සම්බන්ධයෙන් හිතකරයි. පවුල් ජීවිතයේ ද කිසියම් යහපත් වාතාරණයක් ගොඩනැගේ. 5 අධිපති ශනි ඉන් එකොළොස්වැන්නේ ගමන් කිරීම නිසා දූ දරුවන්ගේ අධ්‍යාපන සාර්ථකත්වය, වෘත්තීය ලාභ පෙන්වයි.

අධ්‍යාපනය- අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අහිතකර බවක් නැත. විභාගාදියෙන් සාර්ථක පල ලබයි. සෞඛ්‍යය- දණහිස් සම්බන්ධ ආබාධ, පපුවේ සෙම් ගති, ඇදුම වැනි රෝග ඇතිකිරීමේ අවකාශ ඇත. විශේෂයෙන්ම කොඳු නාරටිය සම්බන්ධ පීඩා ගැන සැලකිලිමත් වන්න.

ශුභ දිනය- බදාදා, වර්ණය- නිල්, අංකය- 06

වෘශ්චික – ශුභා’ශුභ මිශ්‍රයි 
ලග්නාධිපති කුජ 12 වැන්නේ ගමන් කරයි. සෙනසුරු දෙවැන්නේය. රාහු කේතු ආදීන් නවය හා 03 ස්ථානවල පිහිටා ඇත. මෙම තත්ත්වයන්ට සාපේක්ෂව සලකන කල පෙරදී තිබූ දුෂ්කරතා බාධා ගැටලුකාරී තත්ත්වයන් අනුක්‍රමයෙන් පහවී යන නමුදු බාධාකාරි වටපිටාවන් තුළම ජීවත් වන්නට සිදු වේ. නිරන්තරයෙන් ඔළුවට වද දෙන කාරණා පැමිණීමට එක්තරා හේතුවක් වනුයේ ලග්නය කුජ ශනි දෙදෙනාගෙන් පාප කර්තරී වීමයි. ඔළුවට දැනෙන කිසියම් පීඩනකාරී බවක් තමාට වද දෙනු ඇත.

ආර්ථිකය- රැකියා හා ආර්ථික අංශයන්ගේ ශුභා’ශුභ මිශ්‍ර බවක් දක්නට ඇත. ආයාසයෙන් හා පරිශ්‍රමයෙන් වෘත්තීය කටයුතුවල යහපත් බව සාදාගත යුතුව ඇත. ඔබට ආර්ථික වශයෙන් වැඩි සාර්ථකත්වයක් සඳහා පසුබිම සැකසෙනුයේ 2018.10.11 දින සිටයි.

යුග දිවිය- විවාහ ජීවිතයෙහි දැඩි ගැටලුකාරී තත්ත්වයන් ඇති නොකරයි. දරුවන් සම්බන්ධයෙන් සැලකීමේ දී යහපත් වාතාවරණයක් ප්‍රමාණවත් මට්ටමකින් ඇති කරයි.

අධ්‍යාපනය- කලක් තිස්සේ සෙනසුරු ලග්නයේ ගමන් කරමින් අයහපත් බලයක් උදා කළත් එම තත්ත්වයෙන් මිදී සෙනසුරු යහපත් රාශියක ගමන් කිරීම ශුභදායකයි. එක්තරා මට්ටමකින් විද්‍යාස්ථානයක් වශයෙන් සලකන 4 අධිපති ශනි ගුරුගේ රාශියේ ගමන් කිරීම නිසා ධාරණ ශක්තිය මතක ශක්තිය වර්ධනය වේ. විභාග ප්‍රතිඵල යහපත් වේ.

සෞඛ්‍යය- සෞඛ්‍ය තත්ත්වය තුළ ශුභා’ශුභ මිශ්‍ර තත්ත්වයක් පවතී. උගුර, බෙල්ල සම්බන්ධ ආබාධ, ආහාර ජීර්ණ පද්ධතියේ පීඩා හා උණ සෙංගමාලය වැනි අමාරු සඳහා කිසියම් ඉඩක් ඇති කරයි. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

ශුභ දිනය- අඟහරුවාදා, වර්ණය- රතු, අංකය- 09

ධනු – ගැටලු මැද යහපත 
ලග්නාධිපතිම වන බ්‍රහස්පති අයස්ථානගතව ගමන් කරද්දී සෙනසුරු ධන භාවාධිපති වශයෙන් ලග්නයේ ගමන් කරයි. සෙනසුරු ලග්නයේ ගමන් කරන නිසා බොහෝ ‍ජ්‍යොතිෂඥයන් ධනු ලග්නයට ඒරාෂ්ටක අපල ඇතැයි පවසන්නේ අනවබෝධයෙනි. උත්තර කාලාමෘතය මතය පරිදි ධනුවට සෙනසුරු යහපත්ය. ලග්නයේ ගමන් කරන නිසා යම් යම් ගැටලු, ප්‍රශ්න ඇති වුවත් ධන භාවාධිපති වශයෙන් මිත්‍රශීලී සෙනසුරු ලග්නයේ ගමන් කිරීම අර්බුදකාරී නොවේ. සුළු සුළු බාධා ප්‍රශ්න ඇති වුවත් යහපතක් සලසයි.

ආර්ථිකය- ලග්නාධිපතිම ලාභ ස්ථානයේ ධන කාරක ලෙස ගමන් කිරීමෙන් ආර්ථිකමය ප්‍රයෝජන ලබනු ඇත. මේ අතර බ්‍රහස්පති කර්මස්ථානයෙන් හෙවත් රැකියා භාවයෙන් දෙවැන්නේ ගමන් කිරීම වෘත්තීය අංශයට යහපත්ය. රැකීරක්ෂා කටයුතුවල දී අභිවෘද්ධියක් සාර්ථකත්වයක් ලබයි. තම සේවාවන් ගැන ඉහළ පෙළේ නිලධාරීන් ඇගැයීමක් කරනු ඇත.

යුග දිවිය- බ්‍රහස්පති ත්‍රිකෝණ දෘෂ්ටියෙන් යුක්තව හත්වැන්න දැකීම යහපත්ය. තවත් අතකින් කුටුම්බස්ථානාධිපතියා ගුරුගේ රාශියේ සිටීම යහපත්ය. මෙම සියලු කරුණු මත යුග සැපතෙහි සාර්ථත්වයක්, අභිවෘද්ධියක් ඇති කරයි. දූ දරුවන්ට ද යහපත් බව පෙනේ.

අධ්‍යාපනය- උසස් අධ්‍යාපනයට කාරක ප්‍රඥාව නිවේදනය කරන ගුරු ලාභස්ථානයේ වීමම අධ්‍යාපනයට හිතකර කරුණකි. අධ්‍යාපනයේ ප්‍රතිඵල ශුභදායකය. ලකුණු මට්ටම යහපත් වේ.

සෞඛ්‍යය- රාහු, කේතුගේ ගමන ඔබට එතරම් යහපත් නැත. මූත්‍රා ආබාධ, දියවැඩියා වැනි රෝග, උගුර, බෙල්ල සම්බන්ධ පීඩා, රුධිර සංසරණයෙහි අඩුපාඩු ඇති කරයි. සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ශුභ දිනය- බ්‍රහස්පතින්දා, වර්ණය- රන්වන්, අංකය- 03

මකර – පෙරට වඩා යහපත් 
ලග්නාධිපති සෙනසුරු 12 ගමන් කිරීම ඒරාෂ්ටකයක් යැයි අර්ථහීන භාවයෙන් යුක්තව යම් යම් ‍ජ්‍යොතිෂඥයෝ ප්‍රකාශ කරනු ඇත. මතෛක් කල් සතුරු රාශිගතව බාධකස්ථානයේ ගමන් කළ සෙනසුරු ගුරුගේ මූල ත්‍රිකෝණ රාශියට පැමිණ වර්ෂය මුළුල්‍ලේම ගමන් කරයි. එනිසා ඒරාෂ්ටක දෝෂ නැත. සඳු 12 නම් හෝ දෙවැන්නේ නම් හෝ ඒරාෂ්ටක දෝෂ දිය හැක. ඒ හැර අයහපත් නොවේ. පෙරට වඩා යහපත් කාලයකි. කේතු ලග්නයේ හා රාහු 7 ගමන් කිරීම මත උදාසීනතා හා උකටලී ස්වභාවයක් ඇති කළ හැකි වුවත් ඒවා මගහරිමින් ක්‍රියා කිරීමෙන් අභිමතාර්ථ සාධනයක් ඇති කරගත හැක. ගුප්ත ශාස්ත්‍රයෙහි යෙදෙන මකර ලග්න හිමියන්ට ඉතා යහපත්ය.

ආර්ථිකය- කර්මස්ථානාධිති හා ධනස්ථානාධිපති යන දෙදෙනාගේ ගෝචරය මත සැලකීමේ දී රැකියා හා ධනය සම්බන්ධයෙන් අහිතකර බවක් කිව නොහැක. විශේෂයෙන්ම කැපවී උත්සාහවන්තව ක්‍රියා කිරීමත්, රැකියා කටයුතුවල අභිවෘද්ධියත් සලසා ගත හැක්කේය.

යුග දිවිය- කේතු හා රාහු ලග්නයේ සහ හත්වැන්නේ ගමන් කිරීම එතරම්ම ශුභදායක නැත. විවාහයේ දී සතුට සන්තෝෂය ගිලිහී යයි. යම් යම් වාද විවාද මත ගැටුම් කිසියම් ප්‍රමාණයක් හිමිවිය හැක. භාවාර්ථ රත්නාකරය පරිදි කේතු රාහුගේ ගමන මූල ත්‍රිකෝණ බලයෙන් යුක්ත යැයි පැවසේ. ඒ නිසා කිසියම් සහනශීලී, සතුටුදායක බවක් ද සහිතව ප්‍රශ්න ඇති කරයි. දරුවන් සම්බන්ධයෙන් සැලකීමේ දී අහිතකර බවක් කිව නොහැක.

අධ්‍යාපනය- කේතු ශනි ආදීන්ගේ ග්‍රහ ගමන දැනුම බුද්ධිය වර්ධනය කරන යහපත් වටපිටාවක් නිර්මාණය කරන්නකි. විභාගාදියෙන් සැලකිය යුතු සාමාර්ථයක් ලද හැක. විශේෂයෙන්ම තමා අනුයුක්ත වන විෂයයෙන් පුළුල් දැනුමක් ලබයි. සෞඛ්‍යය- ලෙඩ රෝග සම්බන්ධයෙන් සැලකීමේ දී බඩවැල්වල රෝග, අර්ශස් වැනි පීඩා, පෙණහලු ආබාධ, හෘදයගතව ඇති කරන යම් යම් ආබාධකාරී තත්ත්වයන් ඇති කළ හැකි හෙයින් සෞඛ්‍යය ගැන විමසිලිමත් වන්න.

ශුභ දිනය- සෙනසුරාදා, වර්ණය- නිල්, අංකය- 06

කුම්භ – සෑම අතින්ම සුබයි 
ජීවිතයෙහි සමෘද්ධිය, අභිවෘද්ධිය හා ප්‍රබෝධය මැනවින් සාක්ෂාත් කරන වසරකි. පැවැති අරිටු අඳුරු දොස් දුරහැර ජීවිතයෙහි අමුතුම ආකාරයේ සැනසිලි සුවදායක තත්ත්වයක් උරුම කරන්නේය. ගුරු ශනි ආදී ප්‍රධාන පෙළේ ග්‍රහයන් මෙසේ යහපත් ලෙසම ගමන් කරද්දී රාහු ද උපචය භාවගතව හය වැන්නේ මූල ත්‍රිකෝණ බලයෙන්ම සිටීම නිසා සතුරු බලවේග, විරුද්ධවාදීකම් හා නොයෙකුත් උපපීඩක කර්ම දෝෂයන් අහෝසි වේ. නෂ්ටප්‍රාප්ත වනු ඇත.

ආර්ථිකය- ධනය හා රැකියාව සම්බන්ධයෙන් සැලකීමේ දී ඔබට මෙම වසර එම අංශ දෙකෙන්ම යහපතක් සනසයි. ධන-අය දෙකට අධිපති ගුරු භාග්‍යස්ථානයේ සිටිද්දී ලග්නාධිපති ද අයස්ථානයේය. ඉතාමත් ඉහළ මට්ටමේ ධන මාර්ග ඇති වේ. ආදායම් මාර්ග ‍පෝෂණය වේ.

යුග සැපත- පවුල් ජීවිතය තුළ අහිතකර බවක් නැත. බ්‍රහස්පති මංගල භාවය ඉතාමත් යහපත් දෘෂ්ටියෙන් දැකීම නිසා විවාහයෙහි සතුට සැපත ඇති කරයි. අර්බුදකාරී තත්ත්වයන් ප්‍රහීන වේ. සමගියෙන් සමාදානයෙන් යුගදිවිය ගත කළ හැක. දරුවන් සම්බන්ධයෙන් ද හිතකර වාතාවරණයක් පවතී.

අධ්‍යාපනය- ඉගෙනීමේ කටයුතු සඳහා යහපත් යැයි නිසැකයෙන්ම කිව හැක. මනා ධාරණ ශක්තියක් ද නිසඟ කුසලතාවන් ද අවදිවීමක් ද ප්‍රතිභාව උද්දීපනය ද ඇති කරන්නේය. දක්ෂතාවන්ට නිසි තැන ලැබේ. සම්මානනීය සාර්ථකත්වයක් තුළින් අධ්‍යාපනමය ප්‍රතිඵල ඉහළ මට්ටමකට පත් වේ.

සෞඛ්‍යය- ශරීර සෞඛ්‍යය අයහපත් නැත. ශනි, රාහු, ගුරු ආදී ප්‍රධාන පෙළේ ග්‍රහයෝ සියල්ලම ඉහළම මට්ටමින් යහපත් ස්ථානගත වෙති. රෝගාබාධ පීඩාවන් දූරීභූත වේ. ලෙඩ රෝග සමනය වේ.

ශුභ දිනය- සිකුරාදා, වර්ණය- නිල්, අංකය- 08

මීන – බුද්ධිමත් වීමෙන් ජය 
ලග්නාධිපතියා වන බ්‍රහස්පති අටවැන්නේ වෙමින්ම සතුරු රාශිගතව ගමන් කරයි. කුජ ද වර්ෂ ආරම්භයේදීම අටේය. සෙනසුරු උපචය භාවගතව දහයේ ගමන් කිරීම අශුභ නොවේ. මෙම සියලු මත සැලකීමේ දී යම් යම් අතෘප්තිකර තත්ත්වයන් මධ්‍යයේ අසතුට, අසහනයන් සහිතව ජීවිතය ගත කිරීමට සිදු වේ. තමාට අසන්නට, දකින්නට, විඳින්නට ලැබෙන කරුණු කටුකය. අමිහිරිය. ජීවිතයෙහි තදබල කම්පන සහගත ගතියක් ඇතිවන බව කිව යුතුයි.

ආර්ථිකය- රැකියා සහ ආර්ථිකමය පසුබිමට අදාළව සලකන කල ශුභා’ශුභ මිශ්‍රය. ධන කාරක ගුරු අටවැන්නේ ගමන් කිරීම 10 අධිපති අටේ ගමන් කිරීම අයහපත් කාරණා වේ. සෙනසුරු කර්මස්ථානගතවීමෙන් ගැටලු, ප්‍රශ්න මධ්‍යයේ රැකියා කටයුතු කරන්නට සිදුවන බවට සාක්ෂියකි.

යුග දිවිය- විවාහ ජීවිතය අයහපත් යැයි කිව නොහැක. දෙවැන්න, අටවැන්න, නවවැන්න පීඩාකාරීත්වයෙන් තොර නිසා යුග සැපත සමබර වේ. කෙසේ නමුත් බාහිර වශයෙන් බලපාන යම් යම් කරුණු නිසා යුගදිවියේ තෘප්තියට වුවද අවහිරතා ඇති කරයි. දූ දරුවන් සම්බන්ධයෙන් ශුභා’ශුභ මිශ්‍රය. අධ්‍යාපනය- ගුරු අටවැන්නේ ගමන් කිරීමත් රාහු පස්වැන්න වන අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධභාවයේම ගමන් කිරීම නිසා ඉගෙනීමේ කටයුතුවලට බෙහෙවින් කැපවීමට සිදු වේ. උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත යුතුයි.

සෞඛ්‍යය- බොහෝ සෙයින් අඩුපාඩු සහිත සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරයි. සංකීර්ණ රෝගාබාධයන්ට ඉඩ පවතී. සෞඛ්‍යය ගැන හැම මොහොතේම කල්පනාකාරී වන්න.

ශුභ දිනය- බ්‍රහස්පතින්දා, වර්ණය- රන්වන්, අංකය- 03

ජී.ඇම්. ගුණපාල

Gossip Lanka Hot News Previous News Archive