විදේශගත ලාංකිකයින්ට විදේශ ගමන් බලපත්‍රය ගැන අලුත් තොරතුරක්

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී ජූනි මස 01 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකිය
 
මේ බව ප්‍රකාශ කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ය.
 

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. මෙම රැස්වීමට සහභාගි වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීහු මේ බව පැවසූහ.
 
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව නිලධාරීහු පෙන්වා දුන්හ.
 
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කමිටුව මෙහිදී සාකච්ඡා කළේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කරන මෙන් කාරක සභාවේ සභාපති විසින් අදාල නිළධාරීන්ට උපදෙස් ලබා දීම සිදු කරන ලදී.
 
අන්තර්ජාලය හරහා වීසා අයදුම් කිරීමේදී දක්නට ලැබෙන අඩුපාඩු ඇතුළු විවිධ කරුණු ද පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා විදේශිකයන්ට අපහසුවකින් තොරව සිය වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත්, දේශීය මෙන්ම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්වල පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාරක සභාවේ සභාපති විසින් නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.
 
ඉහළ ආදායම් ලබන යුරෝපය වැනි රටවල් වලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කල අතර ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ද කාරක සභාවේ සභාපති විසින් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

Gossip Lanka Hot News Previous News Archive