ආර්ථික වර්ධනයේ බල බිඳින එළවළු මිල ! The Economic Analysis

 ජනවාරි මස උද්ධමනය ඉකුත් දෙසැම්බර් මස පැවති සියයට 9.2 සිට සියයට 9.8 දක්‌වා ඉහළ ගියේය. උද්ධමනය යනු බඩු මිල වැඩි වීමයි. උද්ධමන අනුපාතයෙන් ප්‍රකාශ වන්නේ බඩු මිල ඉහළ යැමේ වේගයයි. ඒ අනුව ජනවාරි මාසයේදී බඩු මිල ගණන් ඉහළ යන වේගය සියයට 9.8 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ පසුගිය කාලයේ පැවැති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා සිදුවූ වගා හානි සහ අදාළ නිෂ්පාදිතවල සැපයුමේ පැවැති හිඟයන්ය. 

මේ නිසා එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගියේය. ජනතාවගේ ජීවන බර වැඩි කළ මේ අධික එළවළු මිල ගණන් හමුවේ ඊට ලංකා සතොස ද මැදිහත් වී සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩපිළිවෙළක්‌ ද ආරම්භ කළේය.
එහෙත් දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයෙන් මෙන්ම පිටකොටුව මැනිං වෙළෙඳපොළෙන් ද වාර්තා වන පරිදි දැන් බොහෝ එළවළු වර්ගවල මිල ගණන් අඩු වී තිබේ. එළවළු මිල ගණන් අඩුවුවත් තවදුරටත් උද්ධමනය වැඩිවීමට ඇති ඉඩකඩ අපට බැහැර කළ නොහැකිය. ඒ අනුව මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ උද්ධමනය හෙවත් බඩු මිල ඉහළ යැමේ ප්‍රශ්නය ගැනයි.

ගිය වසරේ (2012) දිගු කලක්‌ පැවති නියඟය නිසා කෘෂි නිෂ්පාදිතයට බලවත් හානි සිදු වූයේය. නියඟයෙන් ගොවීන්ගේ වගාවන්ට හානි සිදුවී ඔවුහු ඉමහත් පීඩාවට ද ලක්‌ වූහ. මේ වසරේ (2013) ඔවුන් පීඩාවට ලක්‌වූයේ අධික වර්ෂාව හේතුවෙනි. එම මහ වැසිවලින්ද වගා හානි සිදුව එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගියේය. එළවළු මිල ගණන් ඉහළ ගියත්, ඒ මිල ගණන් ගොවීන්ට නොලැබෙන තත්ත්වයක්‌ ද වාර්තා විය. එම ගොවීන්ගේ එළවළු තොග අඩු මිල මිලදීගෙන ගබඩා කරමින්, වෙළෙඳපොළේ කෘත්‍රිම හිඟයක්‌ මවා ඒවා වැඩි මිලට අලෙවි කරන සංවිධානාත්මක කල්ලිවල බලපෑම මීට හේතු විය. 

මේ තත්ත්වය තුළ ලංකා සතොස විසින් කෙළින්ම ගොවීන්ගෙන් එළවළු මිලදි ගෙන සහන මිලට අලෙවි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ, එම ගොවි ජනයාට සහනයක්‌ වන්නට ඇතුවාට සැකයක්‌ නැත. ලංකා සතොස හරහා එම එළවළු විශාල වශයෙන් අලෙවි වීමෙන් පෙනෙන්නේ එම වැඩපිළිවෙළ පාරිභෝගික ජනයාට ද ඉමහත් සහනයක්‌ වී ඇති බවයි. එහෙත් එම එළවළු මිලදී ගන්නේ පාරිභෝගිකයන්ට වඩා අවට කඩ හිමියන් විසින් බවට ද චෝදනාවක්‌ තිබෙන බැවින් ඒ ගැන ද අමාත්‍යාංශය විසින් සොයා බැලිය යුතුව ඇත. ලංකා සතොස ශාඛා මගින් සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩපිළිවෙළ එළවළු මිල අධික කාලවලදී පමණක්‌ නොව අඛණ්‌ඩව ක්‍රියාත්මක කිරීමට ද සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය අපේක්‍ෂා කරන බව ද අපට දැනගන්නට ඇත.

පොදු මිල මට්‌ටම අඛණ්‌ඩව ඉහළ යැම උද්ධමනය වන අතර උද්ධමන අනුපාතය යනු බඩු මිල ඉහළ යැමේ වේගයයි. ඒ නිසා උද්ධමනය අඩුවීම යනු බඩු මිල අඩුවීම නොව බඩු මිල වැඩි වන වේගය අඩුවීමයි. උද්ධමනය වැඩිවීම යනු බඩු මිල වැඩි වන වේගය ඉහළ යැමයි. ඒ නිසා උද්ධමනය අඩුවුවත් වැඩිවූවත් කිසියම් උද්ධමන අගයක්‌ පැවතීමෙන් අදහස්‌ වන්නේ යම්කිසි වේගයකින් බඩු මිල වැඩිවෙමින් පවතින බවයි. මේ අනුව බඩු මිල දිගින් දිගටම වැඩි වෙමින් තිබුණත් අඛණ්‌ඩව පුරා මාස 47 ක්‌ තිස්‌සේ උද්ධමනය තනි ඉලක්‌කමක (සියයට 10 ට වඩා අඩුවෙන්) පවත්වාගෙන යැමට අපට හැකි වී ඇති බවද කිව යුතුය.

2012 දෙසැම්බර් මස පැවැති කොළඹ පාරිභෝගික මිල දර්ශක අගය 168.6 කි. 2013 ජනවාරි මාසයේ අගදී එම දර්ශක අගය 170 දක්‌වා සියයට 0.8 කින් ඉහළ ගොස්‌ තිබේ. ඉහත සඳහන් කළ පරිදිම කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික අගය ඉහළ යැමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ආහාර කාණ්‌ඩයේ මිල ගණන් සියයට 1.3 කින් වැඩි වීමයි. මේ ආහාර කාණ්‌ඩයේ මිල ගණන් වැඩි වීමට ජනවාරි මාසයේදී බොහෝ එළවළු වර්ග, මත්ස්‍ය, කරවල, රතු ලූනු, පොල් සහ සමහර පලතුරු වර්ගවල මිල ගණන් ඉහළ යැම හේතු විය. මෙසේ එළවළු, පලතුරු සහ බොහෝ ආහාර වර්ගවල මිල ගණන් ඉහළ යද්දී ජනවාරි මාසයේ බිත්තර සහ අල මිල ගණන්වල පහළ යැමක්‌ද වාර්තා විය. එසේම ආහාර නොවන කාණ්‌ඩයේ ප්‍රවාහන ( සියයට 0.8 කින්) නිවාස, ජලය, විදුලිය, ගෑස්‌ හා අනෙකුත් ඉන්ධන (සියයට 0.5 කින්), රෙදිපිළි හා පාවහන් (සියයට 0.1 කින්) සහ සෞඛ්‍ය (සියයට 0.1 කින්) යන උපකාණ්‌ඩවල මිල ගණන්ද පසුගිය මාසයේදී ඉහළ ගොස්‌ තිබේ. ප්‍රවාහනá නිවාස, ජලය, විදුලිය, ගෑස්‌ හා අනෙකුත් ඉන්ධන යන උපකාණ්‌ඩවල මිල ගණන් වැඩි වූයේ, රජය විසින් පෙට්‍රල් සහ ගෑස්‌ මිල ගණන් වැඩි කිරීම නිසාය.

උද්ධමනය සැලකෙන්නේ අංක එකේ මහජන සතුරා ලෙසය. උද්ධමනය විසින් දිනෙන් දිනම මහජනතාව පීඩාවට පත් කරමින්, අඛණ්‌ඩව මහජනතාවට සතුරුකම් කිරීම ඊට හේතුවයි. මෙකී උද්ධමනය අංක එකේ මහජන සතුරා වුවත් එම සතුරා අපට මුළුමනින්ම පළවා හැරිය නොහැකිය. අපට කළ හැක්‌කේ එම සතුරා හැකිතාක්‌ දුර්වල කොට, මහජනයාට සතුරුකම් කළ හැකි ප්‍රමාණය හැකිතාක්‌ අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. එනම් පොදු මිල මට්‌ටම හෙවත් උද්ධමනය හැකිතාක්‌ අවම මට්‌ටමක්‌ දක්‌වා අඩු කර ගැනීමයි. මේ සඳහා රජයටත් මහ බැංකුවටත් වගකීමක්‌ තිබේ. උද්ධමනය වැඩිවීමට අයවැය හිඟයත් හේතුවකි. අයවැය හිඟය, උද්ධමනයට විශේෂයෙන්ම හේතු වන්නේ උද්ධමනාත්මක මාර්ගවලින් එය පියවා ගැනීම නිසාය. එනම් අයවැය හිඟය පියවා ගැනීමට රජය විසින් මහ බැංකුව ඇතුළු බැංකු අංශයෙන් ණය ගැනීමයි. මෙසේ බැංකු අංශයෙන් ණය ගැනීම රජයට ඉතා පහසුවෙන් හා අඩු පිරිවැයකින් කළ හැකි දෙයකි. එහෙත් මෙමගින් ආර්ථිකයට උද්ධමනාත්මක ප්‍රතිවිපාක ඇතිවන බැවින් මෙහිදී රජය ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු වෙයි.
 
 එහෙත් එසේ වගකීමෙන් තොර රාජ්‍ය අයවැය ප්‍රතිපත්තියක අහිතකර ප්‍රතිඵල භුක්‌ති විඳීමට සිදු වන්නේ රජයට පමණක්‌ නොව සමස්‌ත මහජනතාවටමයි. ඒ නිසා අයවැය හිඟය පාලනය කර ගනිමින් සහ එය උද්ධමනාත්මක මාර්ගවලින් පියවා ගැනීම අවම කර ගනිමින් කටයුතු කිරීමට රජය හැමවිටම උත්සාහ කළ යුතු වේ. එහෙත් රජයන්, අයවැය හිඟයන් පියවා ගැනීම සඳහා බැංකු අංශයෙන් ණය ලබාගැනීමේ පහසු පිළිවෙතට යොමු වීම බහුලව දැකිය හැකි දෙයකි. මේ ගැන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන මහතා ඔහුගේ එක්‌තරා ලිපියක මෙසේ සඳහන් කර තිබිණි.

"අයවැය හිඟය පියවීම සඳහා බැංකුවලින් ණය ගැනීමට රජය දක්‌වන කැමැත්ත, මුඩිය ගලවා ඇති සීනි බෝල බෝතලයකට නිතරම අත දැමීමට කුඩා දරුවකු තුළ ඇති ආශාවට සමාන කළ හැකිය. මෙවැනි වාතාවරණයක්‌ තුළ මහ බැංකුවේ වගකිම වන්නේ, ඒ ළදරුවාට ඔහුගේ කැමැත්ත පරිදි සිනි බෝල ගැනීමට නොහැකි වන සේ, සීනි බෝල බෝතලයේ මූඩිය තදින් වසා දැමීමයි. මෙය ප්‍රසාදයට ලක්‌ වූ උපක්‍රමයක්‌ නොවුවද ලෝකයේ තිබෙන සියලුම මහ බැංකු, ආර්ථිකයේ පොදු යහපත උදෙසා මෙම සීනි බෝල බෝතලය දැඩි පාලනයක්‌ යටතේ වසා තැබීමට යොමු වී ඇත."

එසේ නම් මෙහිදී මහ බැංකුවේ රාජකාරිය කුමක්‌ද? මහ බැංකුවට සිය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හරහා ආර්ථිකයේ ගනුදෙනු ප්‍රමාණයට හා මුළු නිෂ්පාදිතයට අනුරූපව රටේ පවතින මුදල් ප්‍රමාණය (මුදල් සැපයුම) පවත්වාගෙන යැමෙන් ආර්ථිකය තුළ ඇති වන උද්ධමනාත්මක ප්‍රතිවිපාක හැකිතාක්‌ අවම කර ගත හැකිය. ඒ අනුව මහ බැංකු මුදල් ප්‍රතිපත්තියේ අවසාන අරමුණ විය යුතු වන්නේ රටේ නිපදවෙන භාණ්‌ඩ හා සේවා තොගයට පවතින අධි ඉල්ලුම පාලනය කර ගනිමින් පොදු මිල මට්‌ටම ස්‌ථායි තත්ත්වයට පත් කර ගැනීමයි. ඒ තුළින් දිගුකාලීන ආර්ථික සංවර්ධනයට යෝග්‍ය පරිසරයක්‌ උදා කර දීමයි. මේ නිසා උද්ධමනය ඉහළ නොයන පරිදි ආර්ථිකයේ නිෂ්පාදිතයට සමගාමී ලෙස මුදල් නිෂ්පාදනය කරමින් මහ බැංකුව කටයුතු කළ යුතු අතර එසේ නොවන විට මහජනයාගේ අංක එකේ සතුරා වන උද්ධමනය බලවත්වී මහජනතාවට පීඩා කරයි. ඒ නිසා ක්‍රමයෙන් බලවත් වීමට හැමවීටම උත්සාහ දරනා උද්ධමනය නම් සතුරා තවදුරටත් දුර්වල තත්ත්වයක තබාගනිමින්, මහජනයාට කළ හැකි පීඩනය අවම මට්‌ටමකට පත් කර ගැනීමේ අභියෝගය අපේ මහ බැංකුව පමණක්‌ නොව ලෝකයේ සෑම මහ බැංකුවකටම තිබෙන්නකි.

එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ යැමෙන් ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද ඇමැති ජෝන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ අනුව ලංකා සතොස විසින් ගොවීන්ගෙන් සෘජුවම එළවළු මිලදී ගෙන, ලංකා සතොස අලෙවි සල් හරහා අඩුමිලට ඒවා මිලදී ගැනීමේ අවස්‌ථාව පාරිභෝගික ජනතාවට ලබා දී ඇත. එම අමාත්‍යාංශය පවසන පරිදි පළමු අදියරේදී තෝරාගත් ලංකා සතොස අලෙවි සල්වලින් පමණක්‌ අඩුමිලට අලුත් එළවළු මිලදී ගැනීමට හැකි වනු ඇත. ලංකා සතොස පවසන පරිදි ඔවුන්ගේ කිලෝවක එළවළු අලෙවි මිල ගණන් මෙසේය. එනම් වට්‌ටක්‌කා රු. 20, බම්බටු රු. 100, තලන බටු රු.100 රාබු රු. 50 පතෝල රු. 65, වැටකොළු රු. 90 බෝංචි රු. 110 කැරට්‌ රු. 120 තක්‌කාලි රු. 80, මාළු මිරිස්‌ රු. 150, අමු මිරිස්‌ 240, කරවිල රු. 80, බණ්‌ඩක්‌කා රු. 75, බීට්‌ රූට්‌ රු. 100 දඹළ රු.90, මෑකරල් රු. 90, ගෝවා 60, ලීක්‌ස්‌ 90, සහ බතල රු. 50 ක්‌ වශයෙනි. සාමාන්‍ය වෙළෙඳපොළ මිල ගණන්වලට වඩා අඩු, මේ මිල ගණන් වලට ඔබට එළවළු මිලදී ගත හැකි වන්නේ තෝරාගත් ලංකා සතොස අලෙවි සල්වලදී පමණක්‌ බවද කිව යුතුය. එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස්‌ ඇති අවස්‌ථාවක ලංකා සතොස මගින් දියත් කළ මේ වැඩපිළිවෙළට මහජනයාගේ සතුට පළ විය.

මේ අතර දඹුල්ලෙන් අපට වාර්තා වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ එළවළු මිල ගණන් විශාල ලෙස පසුගිය දිනවල ඉහළ යැමට හේතු වූයේ එහි ඇතැම් ව්‍යාපාරිකයන් සමග සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පැවති "නාඩි කල්ලිය" නිසා බවයි. අනුරාධපුරය, තඹුත්තේගම මාතලේ සහ නුවරඑළිය ආදී ප්‍රදේශවලින් දඹුල්ලට රැගෙන එන එළවළු වර්ග සියල්ල මෙකී "නාඩි කල්ලිය" විසින් නියම කරනු ලබන මිලට (සාපේෂව අඩුමිලට) අලෙවි කිරීමට ගොවීන්ට සිදුව ඇති බවයි. ගොවීන්ගෙන් අඩු මිලට ගන්නා එළවළු තොග කෘතිම ලෙස මිල ඉහළ නංවමින් ගොවීන්ගේ ඇස්‌ ඉදිරිපිටම මෙම නාඩි කල්ලිය විසින් වැඩි මිලට ගැනුම්කරුවන්ට විකුණන බවටද ගොවීන් චෝදනා කළ බව අපට මතකය. වෙළෙඳ කටයුතු කාර්ක්‍ෂමව සිදුකිරීම සඳහා අතරමැදියන්ගේ සේවය අවශ්‍ය වූවත් මෙවැනි බලහත්කාරයක්‌ අපට කිසිසේත්ම අනුමත කළ නොහැකිය. ලංකා සතොස හරහා විකිණීම සඳහා මෙම ගොවීන්ගෙන් සෘජුවම එළවළු මිලදී ගැනීමෙන් කූඨ අතරමැදියන්ගේ ග්‍රහණයෙන් මිදී එම ගොවීන්ගේ එළවළු අස්‌වනුවලට සාධාරණ මිලක්‌ ලැබෙන අතරම එය පාරිභෝගිකයන්ට ද ඉමහත් සහනයක්‌ වෙයි. මේ අතර පෙරේදා (7 වැනිදා) දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථාන වෙළෙඳ සංගමයේ ලේකම් අයි.ජී. විඡේනන්ද මහතා මෙසේ පවසා තිබිණි.

"ඉදිරියේදී එළවළු සැපයුම වැඩි වී මිල අඩු විය හැකියි. ඒ නිසා පාරිභෝගිකයා ආරක්‌ෂා කිරීමට ලංකා ස.තො.ස. පියවර ගත්තා සේම ගොවියා ආරක්‌ෂා කිරීමටද පියවර ගත යුතුයි. දැන් එළවළු මිල අඩු වෙමින් පවතින නිසා දැන් නාඩි කල්ලි ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ගොවියා ආරක්‌ෂා කරන හරිතාගාර (ග්‍රීන් හවුස්‌) වැනි වගා ක්‍රමද රජය විසින් ව්‍යාප්ත කළ යුතුයි."

ඉහළ ආර්ථික වර්ධනයකට කිසියම් මට්‌ටමක උද්ධමනයක්‌ද පැවැතිය යුතු බව අර්ථශාස්‌ත්‍රඥයන් අතර ඇති පිළිගැනීමකි. ඒ අනුව අපට කළ හැකි වන්නේ උද්ධමනය නැමැති අංක එකේ මහජන සතුරා හැකිතාක්‌ දුර්වල කොට මහජනයාට සතු=රුකම් කළ හැකි ප්‍රමාණය උපරිම මට්‌ටමක්‌ දක්‌වා සීමා කිරීමයි. එනම් උද්ධමනය හැකිතාක්‌ අඩුකරගෙන එය වැඩිවන්නට ඉඩ නොදී ස්‌ථාවර මට්‌ටමකින් පවත්වාගෙන යැමයි. මේ සතුරා යළි බලවත් වීමට ඇති ඉඩ කඩද අපට බැහැර කර නොහැකිය. ඒ සඳහා දේශීය ආර්ථිකයේ හේතූ මෙන්ම ලෝක ආර්ථිකයේ අහිතකර බලපෑම් ද අපට පෙනෙන්ට ඇත. එයට හේතුව පසුගිය කාලයේදි ලෝක ආර්ථිකය නොසන්සුන්තාවට පත්කළ සාධකයන් තවමත් මුළුමනින්ම පහව ගොස්‌ නොමැති වීමයි. ඒ නිසාම ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන්නේ ද මන්දගාමීවය. මේ තත්ත්වය ශ්‍රී ලංකාවද ඇතුළු නැගී එන ආර්ථිකයන්ට අහිතකර ලෙස බලපෑම වැළැක්‌විය නොහැකි කරුණකි. මේ නිසා අපගේ භාණ්‌ඩ සඳහා වන අපනයන ඉල්ලුම දුර්වල වීම මෙන්ම ඛණිජ තෙල් සහ වෙනත් භාණ්‌ඩවල මිල ගණන් ඉහළ යැමේ අවධානමක්‌ද තිබේ. ඉල්ලුම හේතුවෙන් ඇතිවන උද්ධමන පීඩනයන් පාලනය කිරීමට සහ උද්ධමනය මැදි තනි අංකය පවත්වා ගැනීමට දිගින් දිගටම අවධානය යොමු කරනු ලබන බව මේ සම්බන්ධයෙන් මහ බැංකුව කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 උපුටා ගැනීම  - දිවයින

Gossip Lanka Hot News Previous News Archive