මාතලේ සමූහ මිනී වල 89 භීෂණ කාලයේ බව එළිවේ

පරීක්ෂණයක් ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් මානව හිමිකම් කොමිසම පැමිණිල්ලක්
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතලේ මිනී වලෙන් හමු වූයේ 1986 – 1990 කාලයේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් බව මාතලේ අධිකරණය ඊයේ (27) තීන්දු කර තිබේ.
කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා ඉදිරිපත් කළ කරුණු විශ්ලේෂණය කිරීමෙන් අධිකරණය විසින් මෙම නිගමනයට එලඹී ඇත. මේ අනුව මාතලේ සමූහ රෝහල් භූමියේ ඇති මෙම ස්ථානයට යොදා ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබේ.
මේ අතර මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (28) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.එම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විමල් පියතිස්ස, නීතිඥ රෙක්සි පියදාස, නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ අචල කුමාරසිරි සහ නීතිඥ නාමල් රාජපක්ෂ යන මහත්වරුද සහභාගි වූහ.
මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පුබුදු ජයගොඩ මහතා මෙසේ පැවසීය.

‘‘මාතලේ විජය විද්‍යාලයේ එවකට පැවති ආණ්ඩුවේ සහාය ඇතිව වධකාගාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ සමූහ මිනීවල හමු වෙලා තිබෙන්නේ ඊට ආසන්නයේ තිබී. ඒ වගේම, අධිකරණය විසින් කරන ලද පරීක්ෂණයේදී එම මළ සිරුරු 1985-1990 කාලයට අයත් බව තහවුරු වී තිබෙනවා. ඒ වගේම, හිසට පරාල ඇණ ගැසූ බවට සලකුණු, අත් පා ආයුධවලින් පහර දී වෙන් කළ බවට සලකුණු, දරුණු වධ බන්ධනයන්ට ලක් කළ බවට සලකුණු තිබෙන බව වාර්තා වී තිබෙනවා.

අද අපි මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නේ, මෙහිදී මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවී තිබෙන බව ප‍්‍රකාශයට පත් කළ යුතුයි. ඒ වගේම මේ සිද්ධිය සම්බයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. මීට වගකිව යුත්තන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුයි. ඒ වගේම මිය ගිය අයට සාධාරණය ඉටු කළ හැක්කේ ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු වීමට ඉඩ නොතැබීමෙන්. ඒ සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග ගත යුතුයි.

මේ සම්බන්ධයෙන් මාතලේ වධකාගාරයේදී ඝාතනයට ලක් වූවන්ගේ දෙමාපියන්, ඥාතීන් සමග අධිකරණය හමුවට යාමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය බලාපොරොත්තු වෙනවා.’’

 Matale Mass Grave Secrets Revealed

Gossip Lanka Hot News Previous News Archive