IPL ප‍්‍රතික්ෂේපකර චන්දිමාල් නව ගමනකට සැරසේ - Dinesh Chandimal

ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව තවත් අන්තර්ජාතික තරගාවලි කිහිපයක් ම එක දිගට යෙදෙන හෙයින් වඩාත් සුදුසු විවේකයක් ලබමින් හොඳ පුහුණුවීමක් ලැබීමටත්,මාධ්‍ය සාකච්ඡ සඳහා මුහුණ දෙන ආකාරය පිළිබඳ ව වඩාත් ගැඹුරින් හැදෑරීමටත් මෙවර අයි.පී.එල් තරගාවලිය ඉවත දැමූ දිනේෂ් චන්දිමාල් තීරණය කර තිබේ.
 කෙවින් පීටර්සන් තුවාල ලැබීම නිසා දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලෙන් සහ මයිකල් ක්ලාක් තුවාල ලැබීම නිසා පූනේ වොරියස් පිලෙන් ඉදිරිපත් වූ ඉල්ලීම දිනේෂ් චන්දිමාල් ප‍්‍රතික්ෂේප කරන ලදී.ජූනි මාසයේ දී එංගලන්තයේ දී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය සඳහා වඩාත් හොඳින් සූදානම් වීමේ අරමුණින් චන්දිමාල් පසුවේ.ශ‍්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල ද උපනායකත්වය දරන චන්දිමාල් විස්සයි – 20 පිලේ නායකයා ලෙසින් කටයුතු කරයි.
 “මගේ පිතිකරු තක්ෂණයේ නිවැරදි කරගතයුතු දුර්වලතා කිහිපයක් තවමත් තිබෙනවා. ඒ නිසා මා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සමඟ කටයුතු කරමින් ඒ ගැන උනන්දු වෙනවා. ඉදිරියේ ඇත්තේ ඉතා දිගු තරගාවලි රැසක්.ඒ නිසා මා මගේ පවුලේ අය සමගත් කාලය ගතකරමින් තවදුරටත් යමක් ඉගෙන ගැනීමට උත්සාහ කරනවා’’ යැයි ද චන්දිමාල් ‘ක‍්‍රික් ඉන්ෆෝ’’ වෙබ් අඩවියට පවසා තිබිණ.
චන්දිමාල්ට අයි.පී.එල්. ක‍්‍රීඩක වෙන්දේසියේ දී මිලක් නියම වී නො තිබිණ. කෙසේ වෙතත් ඔහු ලද ආරාධනා අනුව ඉදිරිපත් වූයේ නම් තරගවලට ක‍්‍රීඩා කිරීම අනුව ඔහුට ඩොලර් 60,000ක් 70,000ත් අතර මුදලක් උපයාගත හැකි ව තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කිසිදු විශ්වාදයක් තැබිය නො හැකි බවත්, කිසියම් ක‍්‍රීඩකයකු අයි.පී.එල් තරගාවලියේ දී දිගින් දිගට ම කණ්ඩායමේ 11 දෙනා අතරට එක්වීමේ අවස්ථාවන් නො ලැබෙන්නේ නම් ක‍්‍රීඩකයාගේ පැත්තෙන් බලන කල්හි එය අවාසිදායක බවත් ක‍්‍රීඩක නියෝජිතයෝ පවසති. චන්දිමාල් පසුගිය වරෙක රාජස්ථාන් රෝයල්ස් පිල වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට තෝරා ගත් නමුත් ඔහුට බොහෝ අවස්ථාවන්හි දී කණ්ඩායමේ 11 දෙනා අතර ස්ථානයක් නො ලැබුණු අතර තරගාවලිය අතර මැද දී නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට අවසර දෙන ලදී. මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන්ට දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් කිසිවකු චෙන්නායිහි දී පැවැත්වෙන තරග සඳහා යොදා නෙ ගත යුතු බවයි.

Gossip Lanka Hot News Previous News Archive