චීනුන් ලංකාවට එන එක වැඩිවෙලා

මෙරටට පසුගිය කාලයේදී පැමිණෙන චීන සංචාරකයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබුණු අතර නවතම සංචාරක දත්තවලින් එම රැල්ල ඉදිරියටම ගමන් කරමින් තිබෙන බව පැහැදිලි වේ. මෙහිදී කැපී පෙනෙන්නේ චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 98.5කින් වර්ධනය වී සංචාරකයන් 2,971ක් පැමිණ තිබීමයි.

මේ වසරේ මුල් මාස හතර තුළ ලංකාවට පැමිණි චීන සංචාරකයන් ප්‍රමාණය සියයට 65.8කින් වර්ධනය වී සංචාරකයන් 11,324ක් පැමිණ ඇත. මේ අනුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය සියයට 14.7කින් වැඩිවී සංචාරකයන් 79,829ක් වී තිබෙන අතර චීන සංචාරකයන්ට අමතරව නැඟෙනහිර යුරෝපය හා මාලදිවයිනෙන් පැමිණි සංචාරකයන්ගේද වර්ධනයක් දකින්නට ලැබේ. මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබෙන්නේ බටහිර යුරෝපයෙනි.

එම කලාපයෙන් පැමිණි සංචාරකයන් ප්‍රමාණය අප්‍රේල් මාසයේදී සියයට 10කින් වර්ධනය වී 27,531ක් වේ. නැඟෙනහිර යුරෝපයෙන් පැමිණි ප්‍රමාණය සියයට 34.5කින් වර්ධනය වී ඇති අතර රුසියාවෙන් 2,528ක්ද යුක්රේනයෙන් 1,518 ක්ද මෙරටට පැමිණ ඇත. මේ අතර මැදපෙරදිගින් පැමිණි ප්‍රමාණය සියයට 14.2කින් ඉහළ ගොස් 3,268ක්වී තිබෙන අතර නැඟෙනහිර ආසියාවෙන් පැමිණි ප්‍රමාණය සියයට 34.2කින් 12,012ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර නැඟෙනහිර ආසියාවෙන් වැඩිපුරම ලංකාවට සංචාරකයන් පැමිණි ජපාන සංචාරකයන් ප්‍රමාණය චීන පැමිණීම වර්ධනය වීම හමුවේ දෙවැනි ස්ථානයට පැමිණ තිබෙන අතර මුල් මාස හතරේදී මෙරටට පැමිණ තිබෙන ජපාන සංචාරකයන් ප්‍රමාණය 9,635කි. අප්‍රේල් මාසයේදී දකුණු ආසියාවෙන් පැමිණ තිබෙන සංචාරකයන් ප්‍රමාණය සියයට 9.7කින් වර්ධනය වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම මාලදිවයිනෙන් පැමිණි පිරිස වැඩිවීම හේතුවෙන් වන අතර ඉන්දියාවෙන් පැමිණි ප්‍රමාණය සියයට 7.1කින් පහළ වැටී ඇත.

මේ අනුව ඉන්දියාවෙන් පැමිණි ප්‍රමාණය 14,333ක් වන අතර මේ වසරේ මේ දක්වා ඉන්දියානු සංචාරකයන් පැමිණීම සියයට 5.2ක් පහළ ගොස් 52,892ක් වී තිබේ. මෙම දත්තවලින් පෙන්නුම් කරන්නේ ජයලලිතා ඇතුළු තමිල්නාඩු අන්තවාදී පිරිසක් ලංකාවට එරෙහිව ගෙනයන ප්‍රචාරණ ව්‍යාපාරය දෙරට අතර සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපා තිබෙන බවයි.

Gossip Lanka Hot News Previous News Archive