පොකුණේ අඩි 3ක් හාරා නිදන් වස්තු පැහැරගෙන

පොළොන්නරුවේ ඓතිහාසික රන්කොත්වෙහෙර සහ කිරි වෙහෙර ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටි ආලාහණ පිරිවෙන් භූමි‍යට අයත් 'ස්වස්තික පොකුණ' නිධන් සොරුන් විසින් හාරා විනාශයට පත් කොට තිබේ.

මෙතෙක් කිසිදු ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැතිව වනගතව තිබූ මෙම පොකුණ නිධන් සොරුන් විසින් අඩි 3ක් පමණ ගැඹුරට හාරා පැරැණි ගඩොල් ඉවත් කොට එහි තිබූ නිධන් වස්තු පැහැරගන්නට ඇතැයි විශ්වාස කෙරේ.මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කොට ඇත්තේ සිද්ධියෙන් පසු දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව බව පැවැසේ.

පරාක්‍රමබාහු නිරිඳුන් විසින් එකල වැඩ විසූ භික්ෂූන් වහන්සේට රෝගාතුර අවස්ථාවලදී ප්‍රතිකාර ලබාදීම පිණිස මෙම ආලාහන පිරිවෙන භූමියේ රෝහලක් ඉදි කර තිබුණි.මෙම පිරිවෙනේ වැඩවසන භික්ෂූන් වහන්සේලාට පැන් දෝවනය පිණිස මෙම 'ස්වස්තික පොකුණ' නිර්මාණය කරන ලදැයි පුරාවිද්‍යා මතය වේ.පොළොන්නරුව සොළොස්මස්ථාන භූමියේ දිගින් දිගටම සිදුවන පුරාවස්තු විනාශය පිළිබඳව සොළොස්මස්ථානාධිපති වේඩරුවේ උපාලි හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.බොහෝ කලක සිට පොළොන්නරුව පූජා භූමියේ පු‍රාවස්තු විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය මඟින් මෙහි ආරක්ෂාව පිණිස නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබෙනවා.


නමුත් මේ ආරක්ෂක නිලධාරීන් රාජකාරියේ යොදවා සිටින්නේ වන්දනාකරුවන් ඇතුළුවන පිටවන ගේට්ටුවල පමණයි.සිද්ධස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක භටයින් යොදවා නැහැ. මේ අතර පූජා භූමියේ පොලිස් මුරපොළක්ද තිබෙනවා. ආරක්ෂාවට භටයින් විශාල පිරිසක් යොදවා තිබුණත් පුරාවස්තු රැකබලා ගැනීමක් සිදු වන්නේ නැහැ.

පොළොන්නරුව පූජා භූමියේ සිද්ධස්ථාන රැකබලා ගැනීමට වගකිවයුතු අංශ නොයෙකුත් වර දැනුවත් කරන නමුත් පුරාවස්තු විනාශය දිනෙන් දින වැඩිවන බව ඉතාමත් සංවේගයෙන් යුතුව ප්‍රකාශ කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

Gossip Lanka Hot News Previous News Archive