කුවේට් ගිය රේණුකාට ඉඳිකටු ගිල්ලවා දස වද දී ගෙදර එවයි !

ශ්‍රී ලාංකික කාන්තාවකට කුවේට්‌ රටේදී ඉඳිකටු ගිල්ලවා මාස ගණනාවක්‌ නිරාහාරව කාමරයක දමා විවිධ වද හිංසා පමුණුවා යළි දිවයිනට එවා ඇත.ආණමඩුව තම්මැන්නාගම ප්‍රදේශයේ තම දියණියගේ නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින ඇය 40 හැවිරිදි ඇලපාත හල්මිල්ලවැව නිකවැරටිය ප්‍රදේශයේ දෙදරු මවක වන එච්. එම්. රේණුකා බණ්‌ඩාර මැණිකේය.

මෙරට ඒජන්සිකරුවකු විසින් කෑම හා රසකැවිලි සෑදීමට දන්නා බවට ව්‍යාජ ලියකියවිලි සකසා කුවේටයේ නිවසක භාරකරුවකුට තමා භාරදුන් බව රේණුකා මහත්මිය කියයි. එම නිවසේදී තමා සෑදීමට නොදන්නා කෑම සෑදීමට අණකළ විට ඒවා කළ නොහැකි බව පැවසූ පසු නොයෙක්‌ වද හිංසා සිදුකරමින් තමාට පහර දුන් බව ඇය පවසයි. පසුව ඇය නිවසේ දුරකථනයෙන් ශ්‍රී ලංකාවේ තම දියණියට කතා කර මේ කරදර පැවසූ පසු නැවත කතා කිරීමට බැරිවීමට යෑයි පවසා එම නිවසේ හාම්පුතා ඉඳිකටු අහුරක්‌ ගෙන ජලයේ දමා බලහත්කාරයෙන් ඇයට ගිල්ලවා ඇත.තමාට කුවේටයේදී විඳින්නට සිදු වූ දුක්‌ගැහැට පිළිබඳව රේණුකා මහත්මිය මෙසේ පැවසුවාය.

"කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකින් ගෘහ සේවිකාවක්‌ ලෙස 2013.1.11 දින කුවේට්‌ රටේ ජහරා නගරයට ගියා. එහේ ඒජන්සියෙන් කීවා පිරිසිදු කරන්නියක්‌ ලෙස නිවසක රැකියාවක්‌ තිබෙන බව. පසුව මාව එම නිවස හිමිකරු රැගෙන ගියා.


කෑම වර්ග, රසකැවිලි හදන්න දුන්නත් මම දැනගෙන හිටියේ නැහැ. ඊට පස්‌සේ නොයෙක්‌ වද හිංසා කරමින් එම නිවස හිමිකරු මාව කාමරයට දැම්මා. දවසටම කන්න දුන්නේ එක රොටියක්‌ විතරයි. හොරෙන් හරි එකක්‌ කෑවොත් සෙරෙප්පුවෙන් ගහනවා. මාස 4 ක්‌ මම නිවසට පණිවුඩයක්‌වත් යවාගන්න නැතිව දහදුක්‌ වින්දා.

දවසක්‌ මම ගෙදර ෆෝන් එකෙන් දුවට කතා කරලා මට සිදුවෙලා තිබෙන විපත කීවා. දුව ඒජන්සියට කීවාම එහෙන් ඒ ඒජන්සියට කතා කර මාවත් නිවස හිමිකරුත් ගෙන්නුවා. ඒ ඒජන්සියේදීම මට ඒ මිනිහා ගහලා මාව නැවත අරගෙන ආවා. ඊට පසු මම ඒජන්සියට ටෙලිෆෝන් කළා කියල මට වතුර වීදුරුවකට දමල ඉඳිකටු බලෙන් පෙව්වා. මට වෙන කරන්න කිසිම දෙයක්‌ තිබුණේ නැහැ.

මම රට ගියේ මගේ මහත්තය රට යන්න ගේයි ඉඩමයි උකස්‌ කරල පොලී ගෙවන්න නැතිව හිටියේ. මහත්තය ආපහු ආවා. ඒක නිසයි මම රට ගියේ.

ඒත් මම කබලෙන් ළිපට වැටුණා. පසුව මට නිතර ගහන්න පටන් ගත්තා. මම සිහි නැතිව වැටුණා. ඒ ගමන මාව පොලිසියට අරගෙන ගිහින්. ජුනි මාසේ 13 වැනිදා ලංකාවට එව්වා.

පසුව මාව රට යවපු ඒජන්සියට ගිහින් ඇත්ත කතාව කියපුවාම කුරුණෑගල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ පෞද්ගලික රෝහලකින් එක්‌ස්‌රේ පරීක්‍ෂණයකට ලක්‌කළා. ඒ වෛද්‍ය වාර්තාවල කිසිවක්‌ නැති බව පවසා මාව එව්වත් මම කුලියාපිටිය රජයේ රෝහලින් පරීක්‍ෂණ කටයුතු සිදුකර ගත්තා. එහිදී ඉඳිකටු එකක්‌ විරේක මගින් ගත්තා. අනෙක්‌ කටු අරගන්න ඔපරේෂන් කරන්න ඕන බව කීවා.

දැනට මම කුලියාපිටිය රෝහලේ වෛද්‍ය සායනයට යනවා. විදේශ රැකියා නියුක්‌ති කාර්යාංශයෙන් මට රුපියල් පහළොස්‌දහසක්‌ ගෙව්වා. එච්චරයි. මට දැන් ගෙවල් දොරවල්වත් නැහැ. සියලු දේ අහිමිවෙලා අසරණවෙලා ඉන්නේ.

Gossip Lanka Hot News Previous News Archive