අවුරුදු තිහේම සිදු වූ අපරාධ ගැන සොයා බලනවා - නවී පිල්ලේ

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති දශක තුනකට ආසන්න කාලය තුල ශ්‍රී ලංකාවාසී සියලුම ජාතීන්ට එරෙහිව සිදු කෙරුණු සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයා බලන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය පවසයි.

නවී පිල්ලේ ගේ නියෝජිත රෝරි මුන්ගවන් එම ප්‍රතිඥාව දුන්නේ, යුද්ධයේ අවසාන වසර කිහිපයේ දී පමණක් නොව සමස්ත යුද්ධයේදීම සිදු වූ අපරාධ පිළිබඳව සොයා බලන මෙන් ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එකමුතුව ඇයගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී.විශේෂයෙන්ම කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් නැගෙනහිර එල්ටීටීඊ නායකයා වූ සමයේ බෞද්ධ භික්ෂුන් වහන්සේ මරා දැමීම, දරුවන් පැහැර ගැනීම ඇතුළු අපරාධ පිළිබඳව සොයාබලන මෙන් ත්‍රිකුණාමලය නගරයට රැස් වී සිටි සිය ගණනක් උද්ඝෝෂකයෝ මහ කොමසාරිස්වරිය ගෙන් ඉල්ලා සිටියහ.

නියෝජ්‍ය අමාත්‍ය කරුණා එල්ටීටීඊ නායකයාව සිටි සමයේ එල්ටීටීඊය විසින් පැහැර ගන්නා ලද බව පැවසෙන දරුවන්ගේ මවුවරුද අතුරුදහන් දරුවන්ගේ ඡායාරූපද අතැතිව උද්ඝෝෂණයට එක් වී සිටියහ.විශේෂයෙන්ම අරන්තලාව භික්ෂු ඝාතනය සහ දිමුලාගල විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඝාතනය කිරීම ඇතුළු අපරාධ පිළිබඳව ද සොයා බලන මෙන් මහ කොමසාරිස්වරිය ගෙන් ඉල්ලා සිටින පුවරු විරෝධතාකරුවන් අත තිබුණු බව මාධ්‍යවේදී ආර්ජී ධර්මදාස වාර්තා කරයි.


සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් නියෝජනය කරන ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එකමුතුව වෙනුවෙන් අනුර බණ්ඩාර සිය ඉල්ලීම් ඇතුලත් පෙත්සමක් මහ කොමසාරිස්වරියට භාර දුන්නේය.

Gossip Lanka Hot News Previous News Archive