රුපියල ඉතිහාසයේ වැඩිම පසුබෑමට ලක්වේ

ශ්‍රී ලංකා රුපියල මෙතෙක් වාර්තාකළ අඩුම අගය දක්වා අද අවප්‍රමාණය වූ අතර උදෑසන ඩොලරයක මිල රුපියල් 135 ක සීමාවට පැමිණුනි.මේ අනුව, අද උදෑසන ගනුදෙනු ආරම්භයේදී ඩොලරයක මිල රුපියල් 133.20/30 ක්වූ අතර දහවල් වනවිට විශාල වශයෙන් රුපියල අවප්‍රමාණය විය.

මෙය වාර්තා වන්නේ පසුගිය මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා රුපියල දිනක් තුළදී පහළ වැටුණු වැඩිම ප්‍රමාණය ලෙසයි.මේ අතර, බැඳුම්කර වෙළඳ පොළේ වසර පහේ බැඳුම්කර පොලිය සියයට 11.95/12.00 ක් ලෙස පැවතුණි.ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තාවූ අඩුම අගය දක්වා අද දහවල් අවප්‍රමාණය වීම පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහස් දැක්වීය.

මෙහිදී, ඔහු අවධාරණය කර සිටියේ මෙම කඩාවැටීම තාවකාලික සංසිද්ධියක් බවයි. අද උදෑසන ගනුදෙනු ආරම්භයේදී ඩොලරයක මිල රුපියල් 133.20/30 ක් පමණ වුවත් පසුව එය ඩොලර් 135 සීමාව දක්වා විශාල වශයෙන් අවප්‍රමාණය විය.


“අපි මේ පිළිබඳව අවධානය යොමුකළා. එය ඉතාම සුළු ගනුදෙනුවීමක්. අපි විශ්වාස කරනවා මෙය වෙළඳ පොළේ යම් නොමග යාමක් ලෙසත් ඉතාමත් කෙටි කාලයක් තුළදී වඩාත් කළමනාකරණය කළ හැකි මට්ටමට රුපියල ශක්තිමත් වේවි කියාත්.“ යනුවෙන් අධිපතිවරයා පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive