ඇමරිකාව ණය බර බිලියන 328 කින් ඉහළට

පසුගිය සතියේදී ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර ඇති කරගත් එකගතාවයෙන් පසු ෆෙඩරල් රජය වෙත ණය ලබාගත හැකි පළමු දිනයේදීම ඇමරිකානු රාජ්‍ය ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 328කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 

මෙය වාර්තාගත ඉහළයාමක් ලෙස දැක්වෙන අතර මින් දෙවසරකට පෙර වාර්තාවූ ඩොලර් බිලියන 238 ඉක්මවා යාමකි. මේ අනුව ඇමරිකානු ණය බර ඩොලර් ටි‍්‍රලියන 17 සීමාව ඉක්මවා ඇති අතර එය මේ වන විට ඩොලර් ටි‍්‍රලියන 17.075කි. 

මේ ක්‍ෂණික නැග්මට හේතුවී ඇත්තේ පසුගිය මාස 5 තුළ උපරිම ණය සීමාවට එළඹීම වැළැක්වීම සඳහා රජය විසින් ලබාගත් වෙනත් ණය ප‍්‍රමාණයන් ගෙවිය යුතු වීම බව පැවසේ. පසුගිය මැයි මසදී ඔබාමා සහ කොංග‍්‍රස් මණ්ඩලය තීරණයක් ගන්නා තුරු වෙනත් අරමුදල් වලින් ඩොලර් බිලියන 400ක් ණයට ගැනීමට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ක‍්‍රියාකළ අතර පවතින නීතියට අනුව නව ණය සීමාවකට එළඹි විටම එවැනි ණය මුදල් ගෙවා දැමිය යුතුවේ. 

රජයට ලබාගත හැකි උපරිම ණය සීමාව කොංග‍්‍රස් මණ්ඩලය විසින් පණවන නමුදු මෙවර රජය සක‍්‍රිය කිරීමේදී එවැනි සීමාවක් වෙනුවට පණවා ඇත්තේ ණය ලබාගත හැකි කාලසීමාවක් පමණකි. ඒ අනුව පෙබරවාරි 7වනදා වනතුරු අලූතින් ණය වීමේ හැකියාව ඔබාමා රජයට ලැබී තිබේ. 

පසුගිය මාස 5ට සාපේක්ෂව ඒ වන විට ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 700කින් පමණ ඉහළ යනු ඇතැයි පැවසේ. රජය අක‍්‍රිය වූ අර්බුදය තුළදී උපරිම ණය සීමාව ඉහළ නැංවීම සඳහා විවිධ කොන්දේසි රිපබ්ලිකන් පක්ෂය වෙතින් ඉදිරිපත් වූ නමුදු අවසානයේදී කිසිදු කොන්දේසියක් රහිතව ණය ලබාගැනීම සඳහා අවසර දීමට කොංග‍්‍රස් මණ්ඩලයට සිදුවිය.

Gossip Lanka Hot News Previous News Archive