විශ්මිත සැත්කම්වලින් එලොව සිට මෙලොවට ගෙනා දරුවෝ

මේ වන විට ඒ දුවත් පුතාත් ඉතා හො`ද සෞඛ්‍ය තත්ත්වයෙන් මව්පියන්ට මේ ලෝකයේ ඇති වටිනාම සම්පත වන්නේ තමන්ගේ දරුවන්ය. දෙමව්පියෝ ස්‌වකීය දරු පැටව් වෙනුවෙන් ජීවත් වෙති. එහෙත් දරුපැටවුන් කෙරෙහි වන අවධානය ගිලිහී යන එක මොහොතකින් ඔවුහු අනතුරට පත්වෙති. මෙවැනි අනතුරු අපට නිති පතාම අසන්නට ලැබෙන්නේය.

මෙවැනි අනතුරු නිසා නොදරුවෝ ගණනක්‌ දිනපතාම මාරාන්තික තත්ත්වවලට මුහුණ දෙන්නෝය. ඉන් සමහරෙක්‌ මිය යන්නේය. පුංචි දියණියකට සිදුවූ එවැනි අනතුරක්‌ ගැන පසුගිය සතියේ රටම කතා වුණේය. ඒ කතිකාව ඇතිවන්නේ හදිසි අනතුරක්‌ නිසා මාරාන්තික තුවාළ ලද මේ ළදැරිය විශ්මිත සැත්කමකින් සුව කිරීම නිසාය. අනතුර සිදුවන්නේ මේ ළදැරිය නිවසේ තිබූ පිහියක්‌ රැගෙන දුවපැන යමින් සිටියදීය.

පය පැකිලී ඇදවැටෙන දැරියගේ දකුණු ඇස්‌ කුහරයෙන් ඇනෙන පිහි තුඩ ඇසට ඇතුළු වී මොළය තෙක්‌ කිඳා බැස්‌සේය. මේ දරු පැටියා කරාපිටිය ශික්‍ෂණ රෝහලට රැගෙන ආවේ ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියදීය.

රෝහලේ ස්‌නායු ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක ඇතුළු වෛද්‍යවරුන් විසින් මේ දරුපැටියාට කළ විස්‌මිත සැත්කමකින් පසු සිරුරේ කි`දා බැස තිබු පිහිය ඉවත් කළේය. මේ සැත්කම නිසා දරුපැටියාට ජීවත්වීමට වාසනාව උදාවිය. අප දැන් මේ කියන්නට යන්නේ ඒ විස්‌මිත සැත්කම කිරීමට කළ මෙහෙයුම ගැනය. අජිත් නිලන්ත හා ක්‍රිෂාන්ති යුවළගේ බාල දියණිය ප්‍රමෝද්‍යා ගිම්හානිය. ගිම්හානි ගේ වයස අවුරුදු දෙකහමාරකි. ඇයට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකි. මොවුන් පදිංචිව සිටියේ ඉමදුව කනංකේ කයිකාවල වත්තේය.

පවුලේ බඩපිස්‌සිය වූ ගිම්හානි නිවසේ ඒ මේ අත දුව පැන ඇවිදිමින් තම සහෝදරියන් දෙදෙනා සමග කෙළිදෙලෙන් ගත කළාය. දිනය ඉකුත් 11 වැනිදාය. එදින උදෑසන නිවසේ සිටියේ ගිම්හානි දැරිය හා ඇගේ මව ක්‍රිෂාන්තිය. ගිම්හානිගේ පියා නිලන්ත වෙළහෙළ`දාම් කටයුතු ස`දහා නිවසින් පිටත්ව ගොස්‌ සිටියේය. සහෝදරියන් දෙදෙනාගෙන් එක්‌ සහෝදරියක්‌ පාසල් ගොස්‌ සිටියාය.

දෙවන දියණිය රැ`දි සිටියේ පෙර පාසලේය. ක්‍රිෂාන්ති මේස පිහියෙන් අඹ ගෙඩියක්‌ කපා ඉන් කෑල්ලක්‌ පුංචි ගිම්හානිට දී මේස පිහිය මේසය මත තබා කුස්‌සියට ගියාය. ඒ වනවිට ක්‍රිෂාන්තිගේ අවධානය දැරියගෙන් ඉවත්ව ගොස්‌ තිබුණි. ගිම්හානි දැරිය මේසය මත තිබු පිහිය ඇගේ අතට ගත්තාය. ඇය පිහිය රැගෙන නිවසේ පඩිපෙළ මතින් බිමට බැසීමට උත්සාහ කරමින් සිටියාය.

මේ කිසිවක්‌ ක්‍රිෂාන්ති දුටුවේ නැත. ගිම්හානි පිහියත් රැගෙන පඩිපෙළ බසිද්දී ඇය ඇද වැටුණාය. ගතවූයේ නිමේෂයෙකි. ඇගේ අතේ තිබූ පිහිය ගිම්හානිගේ දකුණු ඇස්‌ කුහරයෙන් ඇතුළු වී මොළය දක්‌වා ක`sදා බැස්‌සේය. අනේ අම්මේ කියා ගිම්හානි කෑගැසුවාය. දුවගේ විලාපයට ක්‍රිෂාන්ති දිවගෙන ආවාය. දියණියට වී ඇති දෙය දැකීමෙන් ක්‍රිෂාන්ති බියෙන් මුසපත් වූවාය.

 මොනතරම් කම්පනයට පත්වී සිටියත් ඇය දියණියගේ දකුණු ඇස්‌ කුහරයෙන් ඇතුළු වී ඇමිණුන පිහිය ඉවතට ගැනීමට කටයුතු කළේ නැත. ඇය වහාම අසල්වැසියකුගේ යතුරුපැදියකින් දැරිය ඉමදුව රෝහලට රැගෙන ගියාය. ඒ වනවිටත් දැරිය සිහිසුන්ව සිටියාය. ඉමදුව රෝහලේ වෛද්‍යවරු මේ ගැන කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු දැනුවත් කිරීමට කටයුතු කළහ.

ඒ වනවිට කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ස්‌නායු පිළිබ`ද විශේෂඥ ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක සිටියේ සැත්කමක්‌ කරමින්ය. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය තුළ දැරිය වෙනුවෙන් ඇ`දක්‌ සුදානම් කෙරිණි. දැරිය රෝහලට රැගෙන එන අතරතුරේ ඇය සැත්කමකට හාජනය කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් විය. ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය මංජුලා අනතුරට පත් දැරියට සීටී ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කළාය. දැරිය හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු විකිරණවේදී වෛද්‍ය පාලිත කණ්‌ඩම්බි විසින් ස්‌කෑන් පරීක්‍ෂණය සිදු කළේය.

වෙනත් රෝගියකුගේ සැත්කමක්‌ කරමින් සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායකට මෙකී ස්‌කෑන් පරීක්‍ෂණ වාර්තාව ශල්‍යාගාරයටම ගෙනගොස්‌ පෙන්වීමට ඔහුගේ සහායක වෛද්‍යවරු කටයුතු කළහ. වෛද්‍ය දීපාල් අත්තනායක සිය සැත්කම කරන අතරේම ඉදිරි කටයුතු ස`දහා අවශ්‍ය උපදෙස්‌ ලබා දුන්නේය. හදිසි ප්‍රතිකාර ඒකකයේ සෙසු වෛද්‍යවරු හා එහි කාර්ය මණ්‌ඩලය දැරිය සැත්කමට සූදානම් කළහ. ගිම්හානි දැරිය පැයක්‌ පමණ හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටියාය.

මෙම සැත්කම කඩිනමින් කළ යුතු ශල්‍යකර්මයක්‌ බවට ඒ වනවිටත් දීපාල් අත්තනායක විසින් තම කාර්ය මණ්‌ඩලයට දන්වා තිබිණි. දැරිය පස්‌වරු එකයි දහයට පමණ ශල්‍යාගාරයට ඇතුළත් කෙරිණි. මේ සැත්කම ඉතා ප්‍රවේශමෙන් හා සියුම් ලෙස කළයුතු සැත්කමක්‌ විය.

මක්‌නිසාද යත් පිහිය දකුණු ඇස්‌ කුහරය හරහා මොළයට රුධිරය සපයන ධමනිය සමීපයෙන් ක`sදාබැස තිබුණි. දැරියගේ ඇසේ ගෝලයේ උඩ තුවාල වී තිබූ අතර මොළයට ද හානි වී තිබුණි. ඉක්‌බිති වෛද්‍ය දීපාල් අත්තනායක විසින් පිහිය කි`දා බැස ඇති මාර්ගය ඉතා ප්‍රවේශමෙන් විවෘත කරන ලදී. මෙකී මාර්ගය විවෘත කිරීමේදී එහි ඇති අස්‌ථි කැපීම ස`දහා යොදාගන්නේ ඉලෙක්‌ට්‍රොනික්‌ ඩි්‍රල් එකකි.

එය මිලිමීටරයක්‌ පමණ දිගින් යුත් කපන යන්ත්‍රයකි. නමුත් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය ඒකකය තුළ ඇත්තේ අතින් කපන කටර් ඒකකි. ඒ උපකරණය යොදාගෙන පිහිය ඇනී තිබූ මාර්ගය විවෘත කිරීමේ දී මොළයේ තිබූ සුෂුම්නා තරල විසිරි යන්නට වුයේය.

මෙය පිටතට විසිරියාම වැලැක්‌වීම ස`දහා වෛද්‍ය දීපාල් අත්තනායක විසින් දැරියගේ මොළය ඇතුළේ රුධිර වහනය වීම නැවැත්වීමට කටයුතු කළේය. ඉක්‌බිති කි`දා බැස තිබූ පිහිය ඉවතට ගත්තේය. ඇසේ ගෝලයට හා මාංශපේශිවල තිබූ කැපුම් නැවත මැසීමට කටයුතු කෙරිණි. ගැහැනු දරුවකු නිසා සමේ මැහුම් දැමීමේදී දීපාල් අත්තනායක වෛද්‍යතුමන් දැරියගේ සම විකෘති නොවීම සඳහා දැඩි සැලකිල්ලක්‌ දැක්‌වීය. ඒ නිසාම ඇගේ ඇහිබැම මත මැහුම් දැමීමට කටයුතු කළේය. පැය තුනක්‌ පමණ සැත්කම කෙරිණි.

සැත්කමෙන් පසු දැරියට නැවත සිහිය ගැනීමත් ඇය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමත් භාරදුර කාරියක්‌ විය. සැබවින්ම සැත්කමකින් පසු ශල්‍ය වෛද්‍යවරයාගේ දෙවුර මත රැ`දි ඇත්තේ විශාල වගකීමකි. මක්‌නිසාදයත් මෙම දැරියට කථාකිරීමට හැකිද, ඇගේ අත් පාවල ක්‍රියාකාරිත්වය මොළයේ ක්‍රියාකාරිත්වය මේ සියලු දේ යහපත්ද යන්න ගැන හේ සැලකිලිමත් වූයේය.

සැත්කමින් පසු දැරිය කිසිදු කරදරයකින් තොරව යළි ප්‍රකෘති තත්ත්වයට පත්වූවාය. ඉන්පසු මොළයේ ක්‍රියාකාරීත්වය බැලීම ස`දහා දැරිය සැත්කමෙන් පසු නැවත සීටී ස්‌කෑන් පරීක්‍ෂාවට ලක්‌ කළේය. එම පරීක්‍ෂණ වාර්තාව අනුව සැත්කම සාර්ථක වී තිබිණි. දැරිය සුව අතට පත්ව සිටියාය. "ඇත්තටම මෙය ඉතා අවදානම් සැත්කමක්‌. කණ්‌ඩායමක්‌ විදියට එකාවගේ වැඩකරපු නිසා තමයි මේ සැත්කම සාර්ථක උනේ. සැත්කමක්‌ කිරීමේදී හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු ඇතුළු එහි කාර්ය මණ්‌ඩලය ස්‌නායු ශල්‍ය වෛද්‍යවරු නිර්වින්දන වෛද්‍යවරු හෙද හෙදියන් කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය මෙහිදී විශේෂ කාර්ය භාර්යක්‌ කරනවා. ඒ ගැන ස`දහන් කළ යුතුයි." "මේ වන විට දැරිය ඉතා හො`ද සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඇය අක්‌ෂි සායනයටත් යොමු කළා.

දැරියගේ ඇස්‌වල කිසිදු ප්‍රශ්නයක්‌ නැහැ. ඇස්‌ පෙනීමේ ගැටලුවක්‌ නැහැ. තව දින දෙක තුනකින් දැරියට ගෙදර යන්න පුළුවන්." වෛද්‍ය දීපාල් අත්තනායක පවසන්නේය. සැබවින්ම වෛද්‍ය දීපාල් අත්තනායක මෙවැනි සැත්කම් දහස්‌ ගණනක්‌ කළ වෛද්‍යවරයෙකි. මෙය ඔහුට තවත් එක්‌ සැත්කමක්‌ පමණි. මීට සති කිහිපයකට පෙර වෛද්‍ය අත්තනායක මේ වැනිම සංකීර්ණ සැත්කමක්‌ කළේය.

ඒ පස්‌හැවිරිදි පිරිමි දරුවකුගේ හිස මතට පොල් ගෙඩියක්‌ වැටීම නිසා එම දරුවාගේ හිස්‌ කබල අටපලකට බිඳී මොළය එළියට විත් තිබියදීය. දරුවාගේ බි`දිගිය හිස්‌කබල හා විසිරී තිබූ මොළයේ අස්‌ථි කොටස්‌ නැවත එක්‌කොට යළි ප්‍රතිනිර්මාණය කළේ දරුවාගේ හිසට විස්‌මිත සැත්කමක්‌ කිරීමෙන්ය. මේ දරුවා පොල්ගස්‌ යට තවත් දරුවන් පිරිසක්‌ සමඟ සෙල්ලම් කරමින් සිටිනකොට ව`දුරෙකු විසින් කඩා දැමු පොල් ගෙඩියක්‌ හිසමතට වැටීමෙන් තමයි මේ අනතුර වුණේ.

පොල්ගෙඩිය දරුවාගේ හිස මතට වැටීම නිසා හිස්‌ කබල ඇතුළට ක`sදා බැස මොළයේ අස්‌ථි කොටස්‌ උඩට මතුවී තිබුණා. පැය කිහිපයක්‌ පරක්‌කු වුණා නම් දරුවගේ ජීවිතය නැතිවෙන්න තිබුණා. මේවගේ සැත්කම්වලදී සියයට දහයක්‌ තමයි ජීවත්වෙන්නේ. ජීවිත අවදානම වැඩියි.

වෛද්‍ය දීපාල් අත්තනායක කීවේය. මෙවැනි විස්‌මිත සැත්කම් කරන මේ වෛද්‍යවරයාට දෛනිකව සැත්කම් කිරීම ස`දහා කරාපිටිය රෝහලේ ස්‌නායු ශල්‍ය ඒකකයේ ඇත්තේ එක්‌ ශල්‍යාගාරයක්‌ පමණි. හදිසි අනතුරුවලට ලක්‌වන රෝගීන්ගේ සැත්කම් සිදු කළ යුත්තේ මේ ශල්‍යාගාරයේය.

නමුත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය ස`දහා ශල්‍යාගාර දහයක්‌ පමණ ඇති අතර මහනුවර රෝහලේ හදිසි අනතුරු ඒකකය තුළද ශල්‍යාගාර දෙකක්‌ ඇත. දකුණේ ජනතාවගේ පමණක්‌ නොව, මොනරාගල රත්නපුර ආදී ප්‍රදේශවල ජනතාවගේ සුව ප්‍රාර්ථනාව වන කරාපිටිය රෝහලේ අඩුපාඩු සපුරාදීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව තිබේ.

දීපාල් අත්තනායක වැනි වෛද්‍යවරු අපේ රටේ කොතෙකුත් වෙති. ඔවුහු නිහඬවම ස්‌වකීය මෙහෙවර ඉටු කරති. එවැනි වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සපුරාදීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි. 
ගාල්ල - ලලිත් චාමින්ද

Gossip Lanka Hot News Previous News Archive