කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනපති විවෘත කරයි

ශ්‍රී ලංකාවේ දෙවන අධිවේගී මාර්ගය වන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරිණි. 

පෑලියගොඩ මංසන්ධියේ සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, අධිවේගී මාර්ගයට සම්බන්ධ CCTV කැමරා පද්ධතිය ද නිරීක්ෂණය කළේය. දිගින් කිලෝමීටර් 25.8 කින් යුත් මෙම අධිවේගී මාර්ගය කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළ ප‍්‍රවේශ මාර්ගය දක්වා විහිදෙයි. 

මෙය ඒ 3 මාර්ගය ලෙසින් නම් කර ඇත. මාර්ගය මංතීරු 4කින් ද අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4කින් ද සමන්විතය. නව කැලණි පාලම, පෑලියගොඩ, ජා ඇළ හා කටුනායක අන්තර් පිවිසුම් හුවමාරු මධ්‍යස්ථාන හතර පිහිටා තිබේ. 

පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් ගමන් කළ හැකි වන පරිදි ඉදිකර ඇති මෙම මාර්ගයේ කටුනායක සිට කොළඹට විනාඩි 20ක පමණ කාලයකින් ගමන් කිරීමට හැකියාව ඇත. චීන රජයේ ණය ආධාර මත මේ සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 350කි.






Gossip Lanka Hot News Previous News Archive