ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙස ඉන්දියාවේ සිටින විරෝධතාකරුවන්ගෙන් එල්ල වන බාධාවන් හමුවේ ඉන්දීය අගමැති මන් මෝහන් සිං සමුළුවට සහභාගි නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉන්දීය අගමැතිවරයා වෙනුවට උප ජනාධිපති හමීඩ් අන්සාරි සහ විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කෘෂ්ඩි ඇතුළු නියෝජිතයින් කණ්ඩායමක් සහභාගි වනු ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණය කරයි. ඉන්දීය අගමැතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවනු ඇති බවට වන ඇඟවීම් රැසක් මේ වන විට කර ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙස ඉන්දීය දෙමළ ජාතික විමුක්ති සංවිධානයේ ලේකම් ත්‍යාග විසින් උපවාසයක්ද ආරම්භ කර තිබුණි. දින දාහතරක් පුරා උපවාසයේ යෙදීම නිසා ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වී තිබුණි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති මන් මෝහන් සිං වෙත ලිපියක් යොමු කරමින් කරුණා නිධි පවසා තිබෙන්නේ ත්‍යාග උපවාසය අතහැරීමට සූදානම් නොමැති බවය.
ඉන් පසුව මන් මෝහන් සිං විසින් ඔහුට ලිපියක් යවා තිබුණි. තමිල්නාඩු ජනතාවගේ හැඟීම් තමන්ට සංවේදී බව පවසා තිබුණි.
එම හැඟීම් තේරුම්ගෙන අවශ්‍ය පියවර ගන්නා බවද මන් මෝහන් සිං සඳහන් කර තිබුණි. ඉන් පසුව ත්‍යාග සිය උපවාසය අතහැරීමට තීරණය කර තිබේ.
මේ අතර තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාද ඉන්දීය අගමැතිවරයා වෙත ලිපියක් යවා තිබුණි. ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවත් මේ නිසා පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කළ යුතු බවත් ඇය පවසා තිබුණාය.
'අවුට් ලුක්' සඟරාවට ප්‍රකාශයක් කරමින් ඇය පවසා ඇත්තේ ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරුද්ධව ඉන්දියාව ශක්තිමත්ව සිටිය යුතු බවය.
ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙන අතර එයටද ඉන්දීය අගමැතිවරයා මෙහිදී ගනු ලබන තීරණය, තීරණාත්මකව බලපානු ඇතැයි ඉන්දීය දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දේශපාලන පක්ෂවලට අමතරව තමිල්නාඩුවේ විවිධ ජනතා සංවිධාන මහින්ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගි නොවන මෙන් ඉල්ලමින් ඉකුත් සති ගණනාව පුරාම ඉන්දීය අගමැතිවරයාට දැඩි පීඩනයක් එල්ල කළේය.
මෙකී දැඩි බලපෑම් හමුවේ ඉන්දීය අගමැතිවරයා මෙම සතිය මුලදී ප්‍රකාශ කොට තිබුණේ සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් තම තීරණය ගනු ලබන්නේ තමිල්නාඩුවේ ජන මතයට අනුව බවය.
