සමස්ත රෝහල් පද්ධතියම මේ සතියේ කඩාවැටේවි - GMOA


රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට අවශ්‍ය ඔෟෂධ වර්ග ඇතුළු ඔෟෂධ ගණනාවක උග්‍ර හිඟයක් දිවයිනේ සියලුම රෝහල්වල පැවැතීම නිසා සමස්ත රෝහල් පද්ධතියම මෙම සතිය තුළ කඩාවැටීමේ අතිභයානක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

උද්ගත වී ඇති මෙම තත්ත්වය කොවිඩ් වසංගත අවධියට වඩා දරුණු වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ග රෝහල් තුළ නොමැති වීම නිසා අනපේක්ෂිත අන්දමට රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යෑමේ අවදානමක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවැසීය.
සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙසට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇතත් එම අත්‍යවශ්‍ය සේවාවට අත්‍යවශ්‍ය බෙහෙත් නොමැතිවීම ජාතික අපරාධයක් බව පෙන්වා දෙන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මෙම තත්ත්වය පිළිබඳ විසඳුම් සෙවීම සඳහා සාකච්ඡාවක් ලබාගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා දුරකථන මඟින් සම්බන්ධ කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබීම බරපතළ ප්‍රශ්නයක් බවත් පැවැසීය.

සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමට රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි කළමනාකරණයක් නොතිබීම සහ නිසි සැලකිල්ලක් මේ පිළිබඳව නොදැක්වීම හේතු වී ඇතැයිද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කළේය.

ඔෟෂධ හිඟය මධ්‍යයේ ඉන්ධන හිඟයක් නිර්මාණය වීම නිසා තත්ත්වය තවත් භයානක වී ඇතැයිද මේ තත්ත්වය යටතේ ගිලන් රථ ධාවනයට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවාවන් සඳහා කැඳවාගැනීමේ නොහැකියාවක් පවතින බැවින් මුරසේවා පවත්වාගෙන යෑම පවා අසීරු වී ඇතැයිද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවැසීය.

මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය උත්සන්න වීමට කලින් වහාම තාක්ෂණික කමිටුවක් පත් කර අවශ්‍ය කඩිනම් පියවර ගැනීමේ ඇති අවශ්‍යතාව සෞඛ්‍ය ලේකම්වරයාට පෙන්වාදුන් බව සඳහන් කළ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු තම සංගමය රෝහල් පද්ධතිය බිඳ වැටීම වැළැක්වීමට ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට නොගෙන සෞඛ්‍ය බලධාරීන් ඉබිගමනින් යෑම අද පවතින තත්ත්වයට හේතු වී ඇතැයි පෙන්වා දුන්නේය. රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කර රෝගී සත්කාර බාධාවකින් තොරව පවත්වාගෙන යෑම මූලික මිනිස් අයිතිවාසිකමක් බැවින් ආණ්ඩුවත් සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍යවරයා වගකීම සහ වගවීමෙන් බැහැරව කටයුතු කිරීම දැන්වත් නතර කළ යුතුව ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කළේය.

Gossip Lanka Hot News Previous News Archive