මම පදිංචි වෙලා ඉන්නේ බෙලිගමුවේ වල්පොලගම වත්තේ. සැමියා ලංගම රියැදුරකුව සිට විශ්‍රාම ගිහින්. අපට වයස අවුරුදු 13, 12 හා 4ක් වයසැති දියණියන්ම තිදෙනෙක් ඉන්නවා. අපට වෙන ආදායම් මාර්ගයක් නෑ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ ඇතිව කුරුණෑගල ප්‍රසිද්ධ විදේශ රැකියා ඒජන්සියකින් මම සෞදි රට බලා පසුගිය 2012 මාර්තු 12 වැනි දින පිටව ගියා. මාව ඒජන්සියට යොමු කළේ බෙලිගමුව ලියනපහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. නමුත් රට යෑම වෙනුවෙන් දුන් රුපියල් ලක්ෂයවත් ඔහු දුන්නේ නෑ. රු. 80,000යි දුන්නේ. ඒකත් ටිකෙන් ටික.
සුළු වැරැදීමකට පවා සාරා නමැති ගැහැනිය මට පහර දුන්නා. දවසක් ඇය මට කොස්සක් කැඩෙනකන් පහර දුන්නා. අනන්තවත් පයින් පහරදීලා තිබෙනවා. දවසක් ඇය මට ගහලා වැටුණට පස්සේ අඬ අඬා ඉන්නකොට යකඩ ඇණයක් රත්කරලා බඩේ තැන් හයක තියල පිච්චුවා. සිදුවූ තුවාලවලටවත් ප්‍රතිකාර අරන් දුන්නේ නෑ. මට ඇය දුන් වධ හිංසා නිසා මගේ දකුණු අතේ ගෙඩියක් ආවා.
දැන් එතැන අල්ලනවිට හිරිවැටෙනවා. වාඩිවෙලා නැඟිටිනකොට කොන්දේ කැක්කුමක් එනවා. බොහොම අමාරුවෙන් නැඟිටින්නේ. මට ගෙදරින් කෝල් එකක් ආවත් කතා කරන්න දෙන්නේ නෑ. දිනපතා රෑ නිදාගන්න කොට රාත්‍රි එක, දෙක වෙනවා. නැවැත උදේ 6ට ඇහැරිලා උයන්න ඕනෑ. අවුරුදු එකහමාරක්ම ජීවත් වුණේ ඔය විදියටයි.







