මවු සෙනෙහසින් දෑසින් කඳුළු රූරා වැටෙද්දී ඇගේ දෙතනින් කිරි කඳුළු වෑස්සිණි. අවසානයේ දරු දුකින් අෑ නැඟූ විලාපය ඇහැටුවැව ඇතිනිමලේ මී ඔය ඉස්මත්තෙන් ගිගුම් දෙන්නට විය.ඇගේ විලාපයෙන් පළාත දෙවනත් විය.නිරන්තර අලි ගම් වැදීම ඇහැටුවැව, ඇතිනිමලේ ප්‍රදේශවාසීන්ට සාමාන්‍ය සිදුවීමක් වුවත් ඒ විලාපයේ අනතුරක සේයාවක් ඇති බව වටහාගත් ගම්වාසීහු මී ඔය ඉස්මතට දිව ගියේ කුමක්දැයි දැනගැනීමේ අපේක්‍ෂාවෙනි.
ගම්වැසියන් කළ දැනුම්දීමෙන් පසුව එතැනට ගල්ගමුව වනජීවී අඩවි ආරක්‍ෂණ අංශයෙන් හා ගල්ගමුව පොලිස් ස්ථානයෙන්ද නිලධාරීහු පැමිණියහ.එහෙත් ඔවුනට දැකගත හැකි වූවේ වගා ළිඳ තුළ මියගොස් සිටින අලි පැටවා සහ මවු ඇතින්නය.රාත්‍රියේ වගා ළිඳට ඇද වැටුණු තම පැටවා බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ මවු ඇතින්න අවසානයේ කිරි කඳුළු හා මවු සෙනෙහසද කැටිව එම වගා ළිඳ තුළටම වැටී පැටවාත් සමඟම මියගිය මෙම ශෝකජනක පුවත වාර්තා වූයේ ඇහැටුවැව, ඇතිනිමලේ ප්‍රදේශයෙනි.
අඩි හතක් පමණ උස වයස අවුරුදු විස්සක් පමණ වූ මවු ඇතින්න, අඩි තුනක් පමණ උස, වයස අවුරුදු තුනහමාරක් පමණ වූ අලි පැටවාගේ සිරුර මතට වැටීමෙන් ඇති වූ තෙරපීමෙන් හා සිරවීමෙන් දෙදෙනාම අඩි විසිඅටක් පමණ ගැඹුරැති ජලය බිඳකුදු නොතිබූ වගා ළිඳ තුළ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වී සිටි බව ගල්ගමුව වනජීවී අඩවි ආරක්‍ෂක අයි.එම්.ජී. සෙනෙවිරත්න මහතා පැවැසීය.