Facebook Love එක අහිමි වූ තරුණිය කිරිවාණ ඇල්ලට පනී

ෆේස් බුක්හි (මුහුණුපොතේ) සිටි පොළොන්නරුව ප්‍රදේශයේ ධනවත් පෙම්වතකුට පෙම් බැඳි තරුණියක් එම පෙම අහිමිවීමෙන් සිත් තැවුලට පත්ව රෙදි සෝදන කුඩු ද්‍රව්‍යයක් පානය කොට දෙණියාය කිරිවාණ ඇල්ලට පැන සියදිවි හානි කරගෙන තිබේ.පොලිසිය පැවැසුවේ එසේ මියගොස් ඇත්තේ දෙණියාය මුගුණමුල්ල කඩපොළ ප්‍රදේශයේ පදිංචි විසිදෙහැවිරිදි තරුණියක බවයි.
මෙම තරුණිය පොළොන්නරුව ප්‍රදේශයේ පෙම්වතාට අමතරව මාතර ප්‍රදේශයේ මුස්ලිම් තරුණයකු සමඟද පෙම්බැඳ සිට ඔහු අතහැර පළමු පෙම්වතා වන පොළොන්නරුව ප්‍රදේශයේ පෙම්වතා සමඟ අලුත් ජීවිතයක් ගතකිරීමට යළි සූදානම් වෙද්දී ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය සිත්වේදනාවට පත්වන්නට ඇති බවට පොලිසියට සැක මතු වී තිබේ.


මියගිය තරුණිය ඇයගේ මිත්තණියගේ නිවෙසේ නිදාගෙන සිට අලුයම වමනය කරන ශබ්දය ඇසී මිත්තණිය ඒ ආසන්නයේ පිහිටි තරුණියගේ මවුපියන්ට පැවැසීමට එම නිවෙසට දිවගොස් ඇති අතර මවුපියන් ඇය සිටි නිවෙසට පැමිණෙද්දී ඇය නිවෙසින් අතුරුදන් වී සිට ඇත. පසුදින උදේ ඇගේ මළසිරුර කිරිවාන ඇල්ලේ පාවෙමින් තිබී සොයාගෙන තිබේ.

දියඇල්ලට පැනීමට පෙර ඇය විසින් පානය කර ඇතැයි සැකකරන රෙදි සෝදන කුඩු වර්ගය අඩංගුව තිබූ හිස් පැකට්ටුවද මිත්තණියගේ මුළුතැන්ගෙයි තිබී පොලිසිය බාරයට ගෙන තිබේ.

තරුණියගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (2දා) මාතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පවත්වා ඇති අතර එහිදී ඇගේ ආමාශයද පිලිස්සී ඇති බව හෙළි වී තිබේ.


මරණය පිළිබඳ තීන්දුවක් දීමට පෙර සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට තීරණකොට ඇති බවද දෙණියාය පොලිසිය පැවැසීය.
මෙම සිද්ධියෙන් පසු පොළොන්නරුව සහ මාතර ප්‍රදේශයේ සිට ඇයට පෙම්බැඳි පෙම්වතුන් දෙදෙනා අතර සිදු වී ඇතැයි කියන දුරකතන සංවාදයක් පිළිබඳවද පොලිසියට තොරතුරු ලැබී ඇත. පොළොන්නරුව ප්‍රදේශයේ පෙම්වතා සොයාගැනීම සඳහා දෙණියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Gossip Lanka Hot News Previous News Archive