facebook ජාතික ආරක්ෂාවට තර්ජනයක් - Gotabhaya Rajapaksa

යම් යම් න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන අයට යම් යම් සිතුවිලි හා අදහස් අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කොට ශ්‍රී ලංකාව තුළ ගැටලු ඇතිකිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගත හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියයි. මේවා ඉටු කිරීම සඳහා අවශ්‍ය වන්නේ අවම මට්ටමක පෞද්ගලික සහභාගිත්වයක් පමණක් බවත් එබැවින් ජාතික ආරක්ෂාවට අදාළ සාම්ප්‍රදායික ආම්පන්න ඔස්සේ එවැනි තර්ජන මැඬපැවැත්වීම අසීරු කාර්යයක් වී ඇති බවත් ලේකම්වරයා සදහන් කරයි.

කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ “ජාතික ආරක්ෂක ඉසව්“ යන මාතෘකාව ඔස්සේ දේශනයක් පවත්වමින් රාජපක්ෂ පමතා මේ බව පෙන්වා දුන්නේය.

'ෆේස්බුක්' 'ට්විටර්' සහ අන්තර්ජාලයේ සෙසු වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින් සැදි තාක්ෂණය එළිදැකීමත් සමඟ රටවල් අස්ථාවර කොට ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුව වැනි රටවල බැරෑරුම් වෙනස්කම් සිදුකිරීමට මෙම නව මාධ්‍ය අඩවි සතු බලය අප දැක ඇති බවත් රාජපක්ෂ මහතා කීය.අපේ තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනකු සමාජ මාධ්‍ය අඩවි පිළිබඳ දැනුමක් ලබා සිටින බවත් ඒවා තොරතුරු රැස් කරගැනීමට මෙන්ම සංකල්පනාවන් ප්‍රචාරය කිරීමට ආයුධයක් ලෙස ඔවුන් භාවිත කරන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.


"අරාබි වසන්තය" වැනි අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළ සිදුවීමේ අවකාශය ඉතා අවම බවත් ඊට හේතුව ශ්‍රී ලංකාව ඉතා විශාල ඡන්ද බහුතරයක් භුක්ති විඳින අතිශයින් ජනප්‍රිය දේශපාලනික නායකත්වයක් පවතින ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් වීම නිසා බවත් කී ලේකම්වරයා එසේ වුවත් කාලීන ප්‍රවණතාවන්හි බලපෑම නිතර නිරීක්ෂණය කළ යුතුව ඇති බවත් කීවේය.

මාලදිවයිනේ ඇමෙරිකානු කඳවුරක් පිහිටුවීම ආසියානු උප මහාද්වීපික කලාපයේ ආරක්ෂක චිත්‍රය වෙනස් වීමට තුඩු දිය හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.ඊට හේතුව අමෙරිකාව ඉන්දියානු උප මහාද්වීපික කලාපය කෙරෙහි දක්වන වැඩි උනන්දුව නිසා ඉන්දියාව වෙත නැඹුරුවීමෙන් ශ්‍රී ලංකාව වෙත බලපාන සාධකයක් වීම බවත් ලේකම්වරයා කීය.

චීනය සහ රුසියාව වැනි බලවත් ජාතීන් සමඟ පවතින සුහද සම්බන්ධතාවන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍ය බවත් රාජපක්ෂ මහතා කීය. ඒ දෙරටට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය තුළ ස්ථිර ආසන හිමි නිසා වෙනත් රටවලට වඩා ඉතා සැලකිය යුතු මට්ටමකින් ශ්‍රී ලංකාව පිළිබඳ ගනු ලබන කවර හෝ අන්තර්ජාතික පියවරකට එරෙහිව බලපෑමක් කළ හැකි බවත් ලේකම්වරයා කීය.

Gossip Lanka Hot News Previous News Archive