වසර 30ක් පුරා ත්‍රස්තවාදී පීඩනයට යට වී තිබු බෝම්බ වපුරා තිබූ උතුරු පළාත අද ස්වයංපෝෂිත තත්ත්වයට පත් වී ඇති බවත් උතුරේ මෙන් ම දකුණේ සහජීවනය නො ඉවසන විවිධ කල්ලි කණ්ඩායම් රට තුළ මෙන් ම ජාත්‍යන්තරයේත් අවුල් ඇති කිරීමට සැලසුම් කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.
ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේ අරලියගහ මන්දිරයේ පැවති "රට නගන නිල් රැල්ල" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිම් මට්ටමේ නියෝජිතයින් බල ගැන්වීමේ වැඩමුළුව අමතමිනි. එම නිසා විවිධ බොරු ප්‍රචාරවලට නොරැවටී දිනාගත් සාමය ආරක්ෂා කර ගැනීම සෑම පුරවැසියෙකුගේ ම යුතුකම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ අනාගත පරපුර වෙනුවෙන් රට ගොඩනැගීම සඳහා සියලු දෙනාගේ කැපවීම තමා අපේක්ෂා කරන බවද පැවසීය.
ජාත්‍යන්තර බලපෑම් ත්‍රස්තවාදය අවසන් කිරීමට විවිධ බාධා එල්ල කළ ද තමා ඇතුළු රජය එම බාධවන් නොතකා අභියෝගවලට මුහුණ දී ජනතාව ආරක්ෂා කරන බවත් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉදිරියට ද රට වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජය කැප වී කටයුතු කරන බවත් පැවසීය. දූෂිතයින්ට දඬුවම් දීමට රජය කිසිවිටෙකත් මැලි නොවන බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනතා දේපල කිසිවිටෙකත් විකිණීමට ඉඩ නොතබා රට ඉදිරියට රැගෙන යාමට තම රජය කැපවී කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.







