බංග්ලාදේශය සමග චිතගොං නුවර සහුර් අහමඩ් චවුද්රි ක්රීඩාංගණයේදී ඊයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් ශ්රී ලංකාවට හිමිවිය.
ශ්රී ලංකා පිල කඩුලු 7කට ලබාගත් ලකුණු 168ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස් කළේය. එනමුල් හක් ලකුණු 58ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ අන්තිම පන්දුව තෙක් සටනක නිතර වීම කැපී පෙනුණි.බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල ලකුණු 52ක් එක් කිරීමට ටමිම් ඉක්බාල් හා ෂම්සූර් රහ්මාන් සමත්විය. පන්දු 36කින් බංග්ලාදේශයේ පළමු ලකුණු 50 වාර්තා වු අතර හත්වැනි ඕවරය යැවු අජන්ත මෙන්ඩිස් විසින් ම උඩපන්දුවක් රැකගැනීමෙන් ෂම්සූර්ගේ ඉනිම නිමාවට පත්විය. ඔහු ලකුණු 22ක් ලබාගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ බංග්ලාදේශයේ දෙවැනි කඩුල්ල ලෙස ඉක්බාල් දැවී ගියේය. ඉක්බාල්ගේ පිත්තෙන් ඇදී ආ පන්දුවෙත දිවගිය මැතිව්ස් ඉදිරියට පැන පන්දු රැකගන්නා විට ඉක්බාල් ලකුණු 30 රැස්කරගෙන සිටියේ හතරේ පහර 6ක් සමගින් පන්දු 25කිනි.







