රුපියල තවත් බාල්දු වේ - Sri Lanka rupee fall unnecessary

පියවර නොගතහොත් ඉදිරියේදී තවත් වැටීමට ඉඩ
අද විනිමය වෙළඳ පොළේ රුපියල දුර්වල වීමක් සිදුවූ අතර මුදල් වෙළෙඳුන් පැවසූවේ ඩොලරයක මිල රුපියල් 130.75/90 ක් දක්වා වැඩිවූ බවයි.බ්ලූම්බර්ග් පුවත් සේවාවේ දත්ත වලට අනුව දෙසැම්බර් මාසයේදී ඩොලරයක මිල රුපියල් 130.55 ක මට්ටමක විය.

පසුගිය සති තුන තුළදී මුදල් වෙළඳ පොළේ පවතින අතිරික්ත ද්‍රවශීලතාවය හමුවේ රුපියල මෙසේ දුර්වල වෙමින් තිබේ.මහ බැංකුව විසින් වාණිජ බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය සියයට 02 කින් අඩු කිරීම ජූලි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමත් සමග රුපියල් බිලියන 35-40 අතර අතිරික්ත ද්‍රවශීලතාවයක් බැංකු ක්‍රමයට පැමිණීමට නියමිතය.මෙසේ ද්‍රවශීලතාවය වැඩිවීම රුපියල කෙරෙහි ඉදිරියේදී තව තවත් පීඩනය වැඩි කරනු ඇතැයි විශ්ලේෂකයින් පෙන්වා දේ.ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙද්දී ඉන්දියාව ඇතුළු කළාපීය රටවල් කිහිපයකම මුදල් ඒකක අවප්‍රමාණය වීමක්ද සිදුව තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීම පිළිබඳව බියවිය යුතු නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ සියයට 01 කට වඩා අව ප්‍රමාණය වූ අතර බ්ලූම්බර්ග් පුවත් සේවාවේ දත්ත වලට අනුව 2012 ජුනි මාසයෙන් පසුව රුපියල අවප්‍රමාණය වූ වැඩිම ප්‍රමාණය මෙයයි.ඊයේ පස්වරුව වනවිට ඩොලරයක් ගනුදෙනු වූයේ රුපියල් 130.65 ක මට්ටමකයි.

වටිනාකම අඩුවෙන් පෙන්වා ගේන පරණ වාහන වලට වැට

මෙහෙම ගියොත් අපේ කර්මාන්තය ඉවරයි - ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමය

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන බදු හමුවේ අළුත්ම වාහන ආනයනය විශාල ලෙස අඩුවී තිබෙන බවත් අසාධාරණ ලෙස රේගුවට වටිනාකම අඩුවෙන් පෙන්වා ආනයනය කරන පාවිච්චි කළ වාහන කොටුකර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට බළධාරීන් සමග කටයුතු කරන බවත් ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි.

ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති තිලක් ගුණසේකර “විමසුම“ ට පැවසුවේ වටිනාකම අඩුවෙන් පෙන්වා මෙරටට ආනයනය කරන පාවිච්චි කළ වාහන ප්‍රමාණය මේ වනවිට වැඩි වෙමින් තිබෙන බවයි.

“මේ නිසා, නිසි බදු ගෙවමින් අපි සිදුකරන කර්මාන්තය කරගෙන යාමට බැරි තත්ත්වයකට පත්ව තිබෙනවා. අනිත් අතට මේ නිසා රජයට විශාල බදු ප්‍රමාණයක් අහිමි වෙනවා. අපි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කළා වටිනාකම අඩුවෙන් පෙන්වා මෙරටට ආනයනය කරන පාවිච්චි කළ වාහන වලින් නියම බදු ප්‍රමාණය අයකර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියල. ඔහු ඒ සඳහා අපි සමග සාකච්ඡා කිරීමට එකඟ වුණා.“

පවුමක් රුපියල් 5000 කින් පමණ ඉහළ යන ලකුණු

රන් ආනයනය කිරීමේදී සියයට 10 ක බද්දක් අය කිරීමට රජය විසින් තීරණය කිරීමෙන් අනතුරුව මෙරට වෙළඳපොළේ රන් මිල ඉහළ යන බව වාර්තා වේ.

මේ අනුව, දේශීය වෙළඳ පොළේ රත්‍රන් පවුමක මිල රුපියල් 4000 - 5000 දක්වා ප්‍රමාණයකින් වැඩි වනු ඇති බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.රන් මිල ඉහළ යාමත් සමග මෙරට වෙළඳ පොළේ ස්වර්ණාභරණ මිල ගණන් වැඩිවීමට එය තුඩුදෙනු ඇත.කෙසේ වෙතත්, මේ පිළිබඳව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසා ඇත්තේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ මෙම බද්ද තාවකාලික බද්දක් වන බවයි.

පසුගිය කාලය පුරාවට ලෝක වෙළඳපොලේ රන් මිල පහල වැටීමත් සමග ඇති වූ තත්ත්වය හමුවේ මී කලින් ඉන්දියාවද රන් ආනයන බද්ද 8% දක්වා ඉහළ දමා තිබුණි.මේ අතර, 2013 දෙවන කාර්තුව තුළදී මෙරටට ගෙන්වනු ලබන රත්‍රන් ප්‍රමාණයේ ඉහළ යාමක් දකින්නට ලැබෙන බවත්, ලංකාව හරහා ඉන්දියාවට රත්‍රන් හොරෙන් ගෙන යනවා යැයි සැකයක් මතුව තිබෙද්දී ලංකාවට ගෙන්වන රත්‍රන් ප්‍රමාණය වැඩිවීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබෙන බවත් එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා පැවසා තිබුණි.

මහ බැංකුව, විනිමය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයි - Further Relaxation of Foreign Exchange Regulations 2013

ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිමය පාලන රෙගුලාසි තවදුරටත් ලිහිල් කර ඇත.
ඉකුත් වසර කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පදනම වැඩිදියුණු වී ඇති අතර, දේශීය මූල්‍ය අංශය වඩාත් ශක්‌තිමත් වී ඇත. එම පසුබිම තුළ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යැමේදී ඉහළ කාර්යක්‍ෂමතාවක්‌ ළඟා කර ගැනීම සහ ව්‍යාපාර කටයුතු පහසු කිරීම හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරකම්වලට පහසුකම් සැලසීම මගින් සමස්‌ත ආර්ථිකයේ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම යනාදී අරමුණු පෙරදැරි කරගෙන, විදේශ විනිමය රෙගුලාසි අනුක්‍රමයෙන් ලිහිල් කරන ලදී.ඉහත සඳහන් කරන ලද ප්‍රතිපත්තිමය රාමුව තුළ පිහිටා කටයුතු කිරීම සඳහා ජුනි 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පහත පරිදිවේ.
  •  අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් (NRFC)රැ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් (RFC) ගිණුම්වල පවතින මුදල් එක්‌ බැංකුවකින් වෙනත් බැංකුවකට මාරුකිරීම සඳහා අනුමැතිය ලබාදීම.

බලයලත් වෙළෙන්දකු සමඟ පවත්වාගෙන යන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/ නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල පවත්නා මුදල් භාවිත කර වෙනත් බලයලත් වෙළෙන්දෙකු සමඟ නව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් විවෘත කිරීමට බලාපොරොත්තුවන්නන් ඒ සඳහා විනිමය පාලකගේ අනුමැතිය ලබාගත යුතුව තිබුණි. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන් හට ඉහළ නම්‍යශීලීභාවයක්‌ ලබාදීම සඳහා වෙනත් බලයලත් වෙළෙන්දකු සමඟ පවත්වාගෙන යන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක/ගිණුම්වල පවත්නා මුදල් භාවිත කර නව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්/නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක්‌/ගිණුම් විවෘත කිරීමට පුද්ගලයන්ට දැන් අවසර ලබා දී ඇත.

Paypal නිදහස දීමට මහ බැංකුවේ අවධානය

Sri Lanka looking at freeing inward Paypal payments: CB Governor
පිට රටවල සිට ශ්‍රී ලංකාව තුළට මුදල් එවීම, අන්තර් ජාලය තුළින් ගෙවීම් කටයුතු වැනි ශ්‍රී ලංකාව තුළට සිදුකරන මුදල් ප්‍රේෂණ කටයුතු ගෝලීය වශයෙන් ඉතාමත් පිරිවැය අඩු Paypal සේවාව හරහා සිදුකිරීමට අනුමැතිය ලබාදීමට අවධානය යොමුව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.

මේ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසීය.“මේ පිළිබඳව අපි ඉතාමත් බැරෑරුම් විදිහට සලකා බලා තිබෙනවා.“මේ වනවිට, ශ්‍රී ලංකාවේ සිට පිට රටවලට කරන ගෙවීම් සඳහා Paypal සේවාව භාවිතා කිරීමේ හැකියාව තිබේ.

නමුත්, ශ්‍රී ලංකාව තුළට Paypal මගින් ගෙවීම් සිදුකිරීමට නොහැකිවී තිබෙන්නේ Paypal ගිණුම් මෙරට බැංකු ගිණුම් සමග ඒකාබද්ධ කිරීමට අවසර හිමි නොවීම නිසයි.Paypal සේවාව බොහෝවිට අන්තර් ජාලය පදනම් කරගත් ව්‍යාපාරික කටයුතු වලට අදාළ ගෙවීම් කිරීම සඳහා ගෝලීය වශයෙන් ප්‍රචලිත වී තිබේ.උදාහරණයක් ලෙස ඇමරිකාව, වියට්නාමය වැනි රටවල පිරිස් මෙම සේවාව භාවිතා කරමින් ebay.com වැනි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණීම මෙන්ම අන්තර් ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමේ විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුකරයි.ශ්‍රී ලංකාව තුළට Paypal හරහා ගෙවීම් සිදුකිරීමට නොහැකිවීම මෙරට අන්තර් ජාල ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට විශාල බාධාවක් ලෙසින් පවතී.

විදුලි බිලෙ සැර වැදී උද්ධමනයත් උඩ යයි - Sri Lanka inflation rises in May 2013

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ඇති වූ බලපෑම හේතුවෙන් මැයි මාසයේ උද්ධමනය අපේ‍්‍රල් මාසයට සාපේක්ෂව ඒකක 9කින් වැඩි වී තිබෙනවා. ඒ අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 7යි දශම 3ක් වන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පාදක කරගනිමින් උද්ධමනය ගණනය කෙරෙනවා. එම මිල දර්ශකය සකස් කෙරෙන්නේ තෝරාගත් භාණ්ඩ හා සේවා සමූහයක මිල ගණන් අනුවයි. 

ආහාර මිල අපේ‍්‍රල් මාසයට වඩා මැයි මාසයේදී ඒකක 1යි දශම 2කින් වැඩි වී තිබෙනවා. ඇඟලූම් සහ පාවහන් මිල ඒකක දශම එකකින් වැඩි වී තිබෙන අතර, ගෘහ භාණ්ඩ සහ නිවාස අලූත්වැඩියාවන් සඳහා වන වියදම් ද වැඩි වී තිබෙන්නේ ඒකක දශම 1කින්. අධ්‍යාපන වියදම ඒකක දශම 2කින් වැඩි වී තිබෙනවා. එහෙත් ජලය, විදුලිය, ගෑස් සහ ඉන්ධන යන කාණ්ඩයේ මිල ගණන් ඒකක 14යි දශම එකකින් වැඩි වී තිබෙන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ. එම වැඩි වීම ප‍්‍රතිශතයක් ලෙස සැලකීමේදී සියයට 2ක් පමණ බව ද ඔවුන් විසින් නිකුත් කෙරුණු වාර්තාවල දැක්වෙනවා.  
 *inflation accelerates to 7.3-pct on power tariff

චීනුන් ලංකාවට එන එක වැඩිවෙලා

මෙරටට පසුගිය කාලයේදී පැමිණෙන චීන සංචාරකයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබුණු අතර නවතම සංචාරක දත්තවලින් එම රැල්ල ඉදිරියටම ගමන් කරමින් තිබෙන බව පැහැදිලි වේ. මෙහිදී කැපී පෙනෙන්නේ චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 98.5කින් වර්ධනය වී සංචාරකයන් 2,971ක් පැමිණ තිබීමයි.

මේ වසරේ මුල් මාස හතර තුළ ලංකාවට පැමිණි චීන සංචාරකයන් ප්‍රමාණය සියයට 65.8කින් වර්ධනය වී සංචාරකයන් 11,324ක් පැමිණ ඇත. මේ අනුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය සියයට 14.7කින් වැඩිවී සංචාරකයන් 79,829ක් වී තිබෙන අතර චීන සංචාරකයන්ට අමතරව නැඟෙනහිර යුරෝපය හා මාලදිවයිනෙන් පැමිණි සංචාරකයන්ගේද වර්ධනයක් දකින්නට ලැබේ. මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබෙන්නේ බටහිර යුරෝපයෙනි.

එම කලාපයෙන් පැමිණි සංචාරකයන් ප්‍රමාණය අප්‍රේල් මාසයේදී සියයට 10කින් වර්ධනය වී 27,531ක් වේ. නැඟෙනහිර යුරෝපයෙන් පැමිණි ප්‍රමාණය සියයට 34.5කින් වර්ධනය වී ඇති අතර රුසියාවෙන් 2,528ක්ද යුක්රේනයෙන් 1,518 ක්ද මෙරටට පැමිණ ඇත. මේ අතර මැදපෙරදිගින් පැමිණි ප්‍රමාණය සියයට 14.2කින් ඉහළ ගොස් 3,268ක්වී තිබෙන අතර නැඟෙනහිර ආසියාවෙන් පැමිණි ප්‍රමාණය සියයට 34.2කින් 12,012ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රාජ්‍ය ණය ප්‍රමාණය 16.9%කින් ඉහළට - Sri Lanka Public debt

නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය 2012 වසර අවසානය්දී 2011 වසරට වඩා සියයට 16.9%කින් සැලකිය යුතු ලෙස වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඒ අනුව 2012 වසරේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 6,000.1කි.2011 වසර අවසානයේ නොපියවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,133.4ක් විය.දේශීය ණය ප්‍රමාණය මුළු ණය ප්‍රමාණයෙහි ප්‍රතිශතයක් ලෙස 2011 වසරේ පවැති සියයට 54.6 සිට 2012දී සියයට 53.9ක් දක්වා සුළු වශයෙන් අඩුවිය.

2012 වසර අවසානයේ බැංකු නොවන අංශය වෙත පැවැති නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,174.3 දක්වා සියයට 13.4කින් වැඩි වූ අතර එය මුළු දේශීය ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 2011 වසර අග පැවැති සියයට 68.4සිට සියයට 67.3දක්වා සුළු වශයෙන් අඩුවී යැයිද 2012 වසරේ මහ බැංකු වාර්තාව සඳහන් කරයි.
මේ අතර දේශීය බැංකු පද්ධතියට නෙපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය 2012 වසර අගදී රුපියල් බිලියන 1,058.4 දක්වා සියයට 19.4කින් වර්ධනය වී ඇත. 2012 වසර අගදී මහ බැංකුව වෙත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 265.2 දක්වා සියයට 0.7කින් සුළු වශයෙන් වැඩි වූ අතර දේශීය බැංකු අංශයට ණය ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස එය පෙර වසර අවසානයේ පැවැති සියයට 29.7 සිට සියයට 25.1 දක්වා අඩු වී තිබේ.

ධම්මික පෙරේරා ටයිල් වෙළෙඳපොළ සම්පූර්ණයෙන් අල්ලයි - Dhammika Pererea extends business empire

තමාට අයත් වැලිබල් සමූහ ව්‍යාපාරයේ ඒකකයක් වන රෝයල් සෙරමික්ස් සමාගම විසින් ලංකා සෙරමික්ස් සමූහයේ පාලිත කොටස් ප්‍රමාණය රුපියල් බිලියන 2.9කට මිලදී ගනු ලැබූ බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා කියයි. ලංකා සෙරමික්ස් සමූහය හා හොරණ ප්ලාන්ටේෂන් සමාගම ඇතුළු තවත් අනුබද්ධ සමාගම් හතරක්ද ඇතුළත්ව ඒවායේ සියයට 79ක් වන කොටස් ප්‍රමාණය රෝයල් සෙරමික්ස් සමාගම විසින් මිලදී ගනු ලැබ ඇත.

මේ අනුව ලංකා සෙරමික්ස්, ලංකා ටයිල්ස් සහ ලංකා වෝල් ටයිල්ස්, රෝයල් සෙරමික්ස් සමාගමට නතුවීම නිසා මෙරට ටයිල් වෙළෙඳ පොළේ ඒකාධිකාරය එම සමාගම යටතට පත්වූ බව පෙරේරා මහතා කීය. මෙරට දැවැන්තම ව්‍යාපාරිකයකු වන වැලිබල් සමූහයේ ප්‍රධානී ධම්මික පෙරේරා මහතා පවසන්නේ ලංකා සෙරමික්ස් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය මිලදී ගැනීමත් සමඟ මෙරට ලැයිස්තුගත සමාගම්වලින් දහයෙන් එකක් පමණ සක්‍රිය ලෙස තමා විසින් පාලනය කරනු ලබන බවයි.

ධම්මික පෙරේරා මහතාට අයත් ලැයිස්තුගත වැලිබල් සමූහයේ ඒකකයක් වන රෝයල් සෙරමික්ස් සමාගම කලින් ගිවිසගනු ලැබූ ගනුදෙනුවක් ලෙස සිලෝන් තියටර්ස් සමාගමට අයත් වූ ලංකා සෙරමික්ස් සමාගමේ සියයට 79ක කොටස් රුපියල් බිලියන 2.9කට මිලදී ගත්තේය.

බක් මහේ උද්ධමනය පහළට- Sri Lanka's inflation eases to 6.4-pct in April

භාණ්ඩ මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය, මේ මාසයේ 6.4% ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව පවසයිඑම දෙපාර්තුමේන්තුව අද නිකුත් කර ඇති දත්තවලට අනුව, උද්ධමනය 6% සීමාවට පැමිණ ඇත්තේ වසරකට පසුවය.

පසුගිය පෙබරවාරි මාසය වනතෙක්, ගෙවුණු මාස 9 කාලය තුළ 9%කට ඉහළ අගයක, උද්ධමනය අනුපාතය පැවතුණිනමුත් එය පසුගිය මාර්තු මාසයේ 7.5% ක් දක්වා පහළයාමක් පෙන්නුම් කළේය.මේ මාසයේ එය තවදුරටත් පහළ යමින් 6.4%ක් වී ඇති බව ජනලේකන දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

මින් පෙර උද්ධමනය අගය7% අඩුවෙන් පැවතියේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීය.මාසික සාමාන්‍ය උද්ධමනය එසේ වුවත්, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය තවමත් 8.8% ක් බව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව අද නිකුත් කළ දත්තවල සඳහන්ය.

රුපියල පිරිහෙයි - The rupee depreciated against the US dollar

ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ගිය වසරේ (2012) දී සියයට 10.43 කින් අවප්‍රමාණයට (පිරිහීමට) ලක්‌ව ඇතැයි මහ බැංකුව පවසයි.

මේ අනුව 2011 වසර අගදී රු. 113.90 ක්‌ වූ ඇමරිකානු ඩොලරයක රුපියල් වටිනාකම 2012 වසර අග වන විට රු. 127.16 දක්‌වා වර්ධනය වී තිබෙන බව ද මහ බැංකුව පවසයි.ගිය වසරේ (2012) පළමු මාස හයේ දී රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 14.56 කින් අවප්‍රමාණය වූ අතර, වසරේ දෙවැනි මාස හයේදී රටට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යැම නිසා 2012 වසරේ ජූලි - දෙසැම්බර් කාලයේදී රුපියලේ අගය, ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 4.83 කින් වර්ධනය (අතිප්‍රමාණය) වූ බවද මහ බැංකුව කියයි.

2012 දී 6.4% ක සංවර්ධන වේගයක් - Sri Lanka records 6.4% GDP growth in 2012

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව 6.4 ක ආර්ථික වර්ධන වේගයක් අත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.මහ බැංකු අධිපතිවරයා විසින් මෙරට ආර්ථික දත්ත ඇතුළත් මහ බැංකුවේ නිල වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විසින් අද (09) උදෑසන පිළිගන්වන ලදී.

2012 වසරේදී අභි‍යෝග රාශියක් මැද මෙම ආර්ථික වර්ධන වේගය අත්පත් කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂිකා ස්වර්ණා ගුණරත්න මහත්මිය එහිදී පැවසීය.ගෝලීය ආර්ථික වර්ධන වේගය මන්දගාමීවීම, ඉන්දියාවේ ආර්ථිකයේ කඩා වැටීම මෙන්ම කාලගුණික බලපෑම්, වෙළඳ හිඟය ඉහළ යාම හා අධික ණය සහ මුදල් ප්‍රසාරණය මෙරට ආර්ථිකය මුහුණ දුන් බලපෑම් වේ.එම බලපෑම්වලට මුහුණදීම සඳහා පොලී අනුපාතය ඉහළ දැමීම, ණය වර්ධනය සඳහා සීමා පැනවීම, විනිමය අනුපාත නම්‍යශිලීවීමට ඉඩ හැරීම ඒ වෙනුවෙන් අනුගමනය කළ ප්‍රතිපත්තීන්ය.

ලංකාවේ විදේශ සංචිත පහළට

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය සැලකිය යුතු ප්‍රතිශතයකින් පහළ ගොස් ඇත. මහ බැංකුවේ නවතම නිල සංඛ්‍යා ලේඛන අනාවරණය කරන්නේ 2012 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2013 ජනවාරි මාසයේදී විදේශ සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 22කින් පහළ ගොස් ඇති බවයි.
අදාළ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වන විට ලංකාවට හිමි විදේශ සංචිතවල වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 6,855කි. මේ සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 4.4කට පමණක් බවද එම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අවසාන කාර්තුවට සාපේක්ෂව මේ වසරේ අපනයන ආදායමද අඩුවී ඇති බවයි.

මේ තත්ත්වය අනුව විදේශ සංචිත අඩු වීම ආනයනවලට ඍජුවම බලපාන බවද සඳහන් කළ එම විශේෂඥයන් මහ බැංකුවේ සහ මෙරට මූල්‍ය ආයතනවල අක්‍රමවත් කළමනාකරණය මීට හේතු වී ඇති බවද අවධාරණය කර සිටියි.

ලොව ඉහළම මානව සංවර්ධිත රටවල් අතරට ශ්‍රී ලංකාවත්

2012 ජාත්‍යන්තර මානව සංවර්ධන වාර්තාව ඊයේ කොළඹදී එළි දැක්වීය.එක්සත් ජතීන්ගේ මානව සංවර්ධන වැඩසටහන නිකුත් කළ එම වාර්තාවට අනුව රටවල් 187ක් අතුරින් ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 5කින් ඉදිරියට පැමිණ තිබේ.2012 එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව රටවල් 187ක් අතුරින් 92 වැනි ස්ථානයේ පසු වේ.

2011 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ, එහි 97 වැනි ස්ථානයයි.මේ අතර දකුණු ආසියා කලාපයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ තවදුරටත් පෙරමුණේ, පසුවීම විශේෂත්වයකි.දකුණු ආසියා කලාපයේ දෙවැනි ස්ථානයේ පසුවන මාලදිවයින එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ සමස්ත රටවල් අතරින් 104 වැනි ස්ථානයේ පසු වේ.අසල්වැසි ඉන්දියාව 2012 එක්සත් ජාතන්ගේ මානව සංවර්ධන දර්ශකය අනුව පසුවන්නේ, 136 වැනි ස්ථානයේ ය.භූතානය 140 වැනි ස්ථානයේත් බංග්ලාදේශය සහ පාකිස්ථානය 146 වැනි ස්ථානයේත් පසු වේ.එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකය සඳහා පදනම් කර ගනු ලබන්නේ, ආයු අපේක්ෂාව සාක්ෂරතාව සහ ජීවන තත්ත්වය යනු කරුණුය.

ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් වැඩි කිරීමට ඉන්දියාව තීරණය කරයි.

ශ්‍රී ලංකා-ඉන්දියා දිගු කාලීන මිත්‍රත්වය පළුදු වීමට හේතුවන කාරණා පැන නගිමින් තිබියදී ඉන්දියාව විසින් තීරු බදු සහන මත ඉන්දියාවට අපනයනය කරනු ලබන මෙරට ඇඟලුම් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කර තිබේ.

මේ අනුව, කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ රෙදිවල මූලාශ්‍රය නොසලකා වසරකට කෑලි මිලියන 08 ක් දක්වා ඉන්දියාවට මෙරටින් තීරු බදු සහන සහිතව ඇඟලුම් යැවීමට අවස්ථාව ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබෙන බවයි.මීට පෙර, මෙම සහනය හිමිව තිබුණේ කෑලි මිලියන 05 ක් සඳහා පමණි.මීට අමතරව, පශු සම්පත් නිෂ්පාදන වෙනුවෙන් ලබාගත යුතු සනීපාරක්ෂක ආනයන සහතිකයේ වලංගු කාලය මාස හයේ සිට අවුරුද්දක් දක්වා දීර්ඝ කර තිබෙන බවද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

හතරදෙනෙක්ගේ පවුලක මාසික වියදම රු. 47,748 ක්‌

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව සිව්දෙනකුගෙන් සමන්විත පවුලකට මාසයක්‌ ජීවත්වීම සඳහා රුපියල් හතළිස්‌ හත්දහස්‌ හත්සිය හතළිස්‌ අටයි ශත තිස්‌ නමයක්‌ (47,748.39) මේ වසරේ පෙබරවාරි මස වනවිට අවශ්‍යව තිබූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ නවතම සමීක්‍ෂණයෙන් හෙළි වී ඇත.
2006/07 වසරවල රුපියල් 100 ක්‌ ගෙවා ගත් භාණ්‌ඩ මල්ලක මිල 2013 පෙබරවාරි වනවිට රුපියල් එකසිය හැත්තෑවයි දශම හතක්‌ (170.7) ගෙවා මිලදී ගැනීමට සිදුවී ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් එහි උසස්‌ නිලධාරියෙක්‌ අනාවරණය කළේය.
2010 වසරේ සමීක්ෂණය අනුව හතරදෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රු. 36,451කි.

ආර්ථික වර්ධනය අඩු වෙයි - Sri Lanka's Economic Growth

ගිය වසරේ මෙරට ආර්ථිකය වර්ධනය වූ ප්‍රමාණය පිළිබඳ රජයේ නිල දත්ත එළි දක්වා තිබෙන අතර 2011 වසරට සාපේක්‍ෂව වර්ධනය සැලකිය යුතු ලෙස අඩුවී තිබේ. මේ අනුව 2012 වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 6.4ක් වන අතර 2011 වසරේදී ආර්ථික වර්ධනය සියයට 8.2කි.

ගිය වසරේදී කර්මාන්ත අංශය සියයට 10.3කින්ද, කෘෂිකාර්මික අංශය සියයට 5.8කින්ද, සේවා අංශය සියයට 4.6කින්ද වර්ධනය වී ඇත. මේ අතර 2012 දෙසැම්බර් කාර්තුවේදී මෙරට ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ සියයට 6.3කින් වන අතර 2011 අවසාන කාර්තුවේදී ලබා තිබූ වර්ධනය සියයට 8.3කි.සියයට 6.4ක් වන ආර්ථික වර්ධනය ලෝකයේ බොහෝ රටවල් සමඟ සැසඳීමේදී ඉහළ වර්ධන අනුපාතයකි. 2013දී මෙරට ආර්ථිකය සියයට 7.5කින් පමණ වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකතනය කර ඇත. කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙන්නේ එම වර්ධනය සියයට 6.5ක් පමණ වනු ඇති බවයි.

ඉලක්කයට අවශ්‍ය ආකාරයට ආර්ථිකය ගමන් කර තිබෙනවා


ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති
රටේ ආර්ථික වර්ධනය හා උද්ධමනය ස්ථායී මට්ටමක පවත්වාගෙන යාමට මෙම ආණ්ඩුව සමත්ව ඇති බව පවසන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ආර්ථික වර්ධන වේගය 8% සීමාවට හා උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකිවීම නිසා 2016 වන විට මෙරට ඒකපුද්ගල ආදායම දෙගුණ කිරීමේ ආණ්ඩුවේ උත්සාහය සාර්ථක වන බව පවසයි.

මහින්ද චින්තනයෙන් බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනය පවත්වාගෙන යාම සඳහා 8% ක අඛණ්ඩ ආර්ථික වර්ධනයක අවශ්‍යතාව දක්වා තිබෙනවා. මෙහිදී 8% ක අගය යෝජනා කර තිබෙන්නේ කවර නිර්ණායක මතද?

පෙබරවාරියේ උද්ධමනය

ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙරට උද්ධමනය පිළිබඳ නවතම දත්ත හෙළි කර තිබේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය මඟින් මනිනු ලබන උද්ධමනය, 2013 පෙබරවාරි මාසයේ දී ලක්ෂ්‍යමය පදනම මත පෙර ජනවාරි මාසයේ වාර්තා කළ 9.8% මට්ටමෙහිම පවතී.වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතය පසුගිය ජනවාරි මාසයේ දී වු සියයට 8.1ක මට්ටමක සිට පෙබරවාරි මාසයේ දී සියයට 8.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මූලික උද්ධමනය ලක්ෂ්‍යමය සහ වාර්ෂික සාමාන්‍ය යන දෙයාකාරයේ ම පදනම් මත පිළිවෙළින් 2013 පෙබරවාරි මාසයේ දී 7.4% සහ 6.3% දක්වා ඉහළ නැඟ තිබේ.

කොමර්ෂල් බැංකුවට බිලියන 10 ක ශුද්ධ ලාභයක්

මෙරට විශාලතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව 2012 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මුදල් වසරේදී රුපියල් බිලියන 10 ක ශුද්ධ ලාභයක් ලැබීමට සමත්ව තිබෙන අතර බැංකුවේ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 500 සීමාව ඉක්මවා ගොස් තිබේ. 
 බැංකුව විසින් මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට හෙළිකර ඇත. මේ අනුව, අදාළ මුදල් වසරේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පෙර ලාභය සියයට 30.26 කින් වර්ධනය වී රුපියල් බිලියන 14.311 ක්වී තිබෙන අතර බදු වලට පසු ලාභය සියයට 25.15 කින් වර්ධනය වී රුපියල් බිලියන 10.072 ක්වී ඇත. මෙම වසරේදී බැංකුවේ ආදායම සියයට 38.88 කින් වර්ධනය වී රුපියල් බිලියන 63.167 ක්වූ බව අනාවරණය වේ. 2012 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුව සතුව තිබෙන සමස්ත තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 382.723 කි. බැංකුව අක්‍රීය ණය සහ සැක සහිත ණය වෙනුවෙන් රුපියල් බිලියන 1.496 ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර 2011 දී සියයට 3.43 ක්වූ අක්‍රීය ණය අනුපාතය 2012 වසරේදී සියයට 3.37 ක් දක්වා සුළු වශයෙන් අඩුවී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive